ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඡන්දය නොදුන් හේතුව ඉන්දියාව කියයි

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව සියලු පළාත් සභාවන්ට ඵලදායී ලෙස ක්‍රියාත්මක විය හැකි බව සහතික කිරීම සඳහා පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සහ බලය බෙදීමේ කරුණු ඉටුකරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීමට තම සහයෝගය දක්වන බව ඉන්දියාව පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබඳ ඊයේ (23) පැවති ඡන්ද විමසීමේදි ඡන්දය දීමෙන් වැළකී සිටීමට හේතු දක්වමින් ඉන්දියාව මේ බව කියාසිටියේය.

එම සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.


සභාපති තුමියනි,

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ප්‍රතිපත්තීන් සහ අරමුණු ප්‍රකාරව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, සාධනීය ජාත්‍යන්තර සංවාදය සහ සහයෝගීතාවය උදෙසා රාජ්‍යයන් සතු ප්‍රමුඛ වගකීම පිළිබඳව ඉන්දියාව විශ්වාස කරයි.

සමීප අසල්වැසි රාජ්‍යයක් වශයෙන් ඉන්දියාව 2009 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාවේ සහන, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට දායකත්වය ලබා දී ඇත.
අපගේ සංවර්ධන ආධාර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් හි ජීවනෝපාය මාර්ගයන් ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ ආර්ථික පුනර්ජීවනය වෙත යොමු වී අත.

සභාපති තුමියනි,

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රවේශය මූලික කරුණු දෙකක් මත පදනම් වී ඇත. එයින් එක් කරුණක් වන්නේ සමානාත්මතාවය, යුක්තිය, අභිමානය සහ සාමය උදෙසා ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව සඳහා අපගේ සහයෝගයයි. අනෙක් කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ එක්සත්භාවය, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාවය සහතික කිරීමයි. මෙම අරමුණු ද්විත්වය එකිනෙකට සහයෝගය දක්වන බව සහ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හොඳින්ම තහවුරු වන්නේ එම අරමුණු දෙකම උදෙසා එක විට කටයුතු කිරීම තුළින් බව අප හැමවිටම විශ්වාස කර ඇත.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ප්‍රකාරව සියලු පළාත් සභාවන්ට ඵලදායී ලෙස ක්‍රියාත්මක විය හැකි බව සහතික කිරීම සඳහා පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම යනාදිය තුළින් දේශපාලන අධිකාරිය බෙදා හැරීම සම්බන්ධයෙන් වන කැපවීම් ඉටු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීමට ඉන්දියාව සහයෝගය දක්වයි.

එලෙසම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලබා දී ඇති අදාළ යෝජනාවන්හි නියෝගයන්ට අනුකූල විය යුතු බව අපි විශ්වාස කරමු.

සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන ලෙස ද, දමිළ ප්‍රජාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කරන ලෙස ද රටේ සියලු පුරවැසියන්ගේ මූලික නිදහස සහ මානව හිමිකම් පූර්ණ වශයෙන් ආරක්ෂා කෙරෙන බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායි ලෙස අඛණ්ඩව නියැලෙන ලෙස ද අප ශ්‍රී ලංකා රජයෙන් දැඩිව ඉල්ලා සිටිමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ස්තූතියි

Exit mobile version