ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරය යළිත් ජස්වර් උමාර්ට හිමිවන ලකුණු!

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාලගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප වීමත් සමඟ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ලෙස ජස්වර් උමාර් නැවතත් නිතරගයෙන් පත් වීමේ අවකාශයක් නිර්මාණය වී ඇත.

පාපන්දු නිලවරණ කමිටුව දක්ෂිතට සහය දක්වන ඉතිරි නාමයෝජනා 08 පමණක් අනුමත කර ඇති අතර, මේ අනුව නිලවරණයෙන් ජස්වර් උමාර්ගේ පාර්ශ්වයට වැඩි වාසි නිර්මාණය වී ඇත.

කෙසේ වුවද මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ලබන මස 03 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව නිලවරණ කමිටුව අදාළ අපේක්ෂකයන්ට අවස්ථාව සලසා දී ඇත.

සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් දක්ෂිත සුමතිපාල, උපසභාපති තනතුරට නාමයෝජනා දුන් ටී.එල්. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්), නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය) යන මහත්ම මහත්මීන්ගේ මෙලෙස නාමයෝජනා ප්‍රතික්ෂේප කර තිබේ.


වාර්තා වන පරිදි මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී ඇත්තේ අනුබද්ධිත පාපන්දු ලීග්වල වසර 04ක ක්‍රියාකාරීත්වයක් නොමැති බව තහවුරු වීමයි.

දක්ෂිතගේ පාර්ශ්වයේ අභියාචනාද ප්‍රතික්ෂේප වුවහොත් හිටපු සභාපති ජස්වර් උමර් නිතරගයෙන් සභාපති තනතුරට පත්වන අතර අනෙක් ප්‍රධාන තනතුරු 04ට ද නිතරග අවස්ථා හිමි වේ.

නිලවරණ කමිටුව හිටපු සභාපති ජස්වර් උමර්ගේ නාමයෝජනා 13ම අනුමත කිරීම සුවිශේෂිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිලවරණ කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික විනිසුරු යූ. එල්. අබ්දුල් මජීඩ් කටයුතු කරන අතර, සාමාජිකයින් ලෙස විශ්‍රාමික විනිසුරු බන්දුල කේ. අතපත්තු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි ගුණසේකර යන අය කටයුතු කරති.

Exit mobile version