ශ්‍රී ලංකාව ඉල්ලූ ණයට IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය 20 වැනිදා ලැබෙන ලකුණු

Krishna Srinivasan

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම සඳහා දැනට පැමිණ ඇති කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට අනුමැතිය ලබා දීම ලබන මාර්තු මස 20 වැනිදා පැවැත්වෙන රැස්වීමේදී සළකා බලනු ඇති බව එම අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය භාර අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් පවසයි.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ දැඩි අර්බුදයට පත් ශ්‍රී ලංකාවට ණය ලබා දීමට අදාළව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ එකඟ වූ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්‍ය ආයතනවලින් ද ශ්‍රී ලංකාවට අවශ්‍ය ණය පහසුකම් ලබා දීමට ඉදිරිපත් වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අධ්‍යක්ෂකවරයා අද මේ බව ප්‍රකාශ කළේ මෙම ණය පහසුකම ලබා ගැනීම සඳහා මූලික අවශ්‍යතාවක්ව පැවති ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීනය නිල වශයෙන් සිය එකඟත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. චීන රජය සිය අපනයන හා ආනයන බැංකුව හරහා ඊයේ නිල වශයෙන් මෙම එකඟත්වය පළ කර තිබූ අතර ඊයේ රාත්‍රියේදීම ණය අභිලාෂ ලිපිය ජනාධිපතිවරයා හා මහ බැංකු අධිපතිවරයා විසින් අත්සන් කර මූල්‍ය අරමුදල වෙත යැවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව, මූල්‍ය අරමුදලට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ණය මුදලේ පළමු කොටස ලෙස ඩොලර් මිලියන 300ක් මෙම මාසය අග හෝ අප්‍රේල් මුල් සතියේ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවය.

Exit mobile version