ශ්‍රි ලංකාවේ ඩොලර් හොරකම් කළ රාජපක්ෂ ඥාති තානාපතිට ඇමෙරිකානු විනිසුරුගෙන් දොස් !

ඩොලර් මිලියන ගණනක් නැති වුණත් මේක මහජන මුදල් සොරකමක්!

Jaliya Wickramasuriya

ශ්‍රි ලංකා රජය සතු මුදල් අයථා ලෙස ඇමෙරිකාව තුළදී වංචා කොට සිය පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වූ ඇමෙරිකාවේ හිටපු ශ්‍රි ලංකා තානපති ජාලිය වික්‍රමසූරිය මහතාට ඇමෙරිකානු ඩොලර් 5,000ක දඩයක් නියම කළ එරට අධිකරණය ඔහුට හිමි දඩුවම වසර දෙකක පරිවාස කාලයකට යටත්ව ඇත.

මෙම අයථා ලෙස ලබා ගත් මුදල් ආපසු රජයට ගෙවීම හේතුවෙන් දඩුවම යම් පමණකට ලිහිල් කළ බව පවසා ඇති ඇමෙරිකාවේ වොෂින්ටන් හි දිස්ත්‍රික් උසාවියේ විනිසුරු ටාන්යා චුට්කන් පවසා ඇත්තේ වික්‍රමසූරිය මහතා වංචා කළ මුදල ඩොලර් මිලියන ගණනක් නොවුවද එය ඔහු විසින් චේතනාන්විතව සිදු කළ බරපතල ශ්‍රි ලංකා ජනතාවගේ මහජන මුදල් සොරකමක් බවයි. එසේම ලෝකයේ බලගතුම රාජ්‍යයේ අගනුවර සිට තම රට නියෝජනය කිරීමට එවූ පුද්ගලයකු ලෙස එය සිදු කිරීම අතිශයින්ම බරපතල පාවාදීමක් බව විනිසුරුවරයා අවධාරණය කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පවුලේ සමීපතම ඥාතියකු වන වික්‍රමසූරිය මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදී ඇමෙරිකාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම කාලයේදී වොෂින්ටන් නුවර ගොඩනැගිල්ලක් තානාපති කාර්යාල කටයුතු සඳහා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී ශ්‍රි ලංකා රජයට වැරදි තොරතුරු දක්වා ඇමෙරිකානු ඩොලර් 332027ක් සිය පෞද්ගලික ගිණුමකට බැර කරගෙන වංචා කරන ලද බවට එරට මූල්‍ය අංශ විසින් සිදු කරන ලද විමර්ෂණයකදී අනාවරණය වූ අතර මෙම අනාවරණයෙන් පසුව ඔහු වංචා කරන ලද මුදල් යළි ශ්‍රි ලංකා රජය වෙත ලබා දීමට වික්‍රමසූරිය මහතා කටයුතු කර තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවද ඇමෙරිකානු රජය මෙම මූල්‍ය අවභාවිතා පිළිබඳ ව ඇමෙරිකාවේ පවතින නීති රීති මගින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනුණු අතර එම නඩු විභාගයෙන් වික්‍රමසූරිය මහතා වැරදිකරු බවට පසුගිය අප්‍රියල් මස තීන්දු කළ අතර දඩුවම නියම කිරීම පසුගිය ජූලි 20 වැනිදා සිදු කිරීමට ද තීරණය කළේය.

Exit mobile version