ශක්ති සහල් ව්‍යාපාරය විනාශ නොකළා නම් හාල් මොල්වලට ගැසට් පිට ගැසට් ඕන වෙන්නේ නැත

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

සහල් මාෆියාවට වෙළෙඳපොළේ හොඳ තරගයක් ලබාදීමට මා විසින් ආර්ථික කටයුතු සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස ආරම්භ කළ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කරමින් ආරම්භ කළ “ශක්ති“ සහල් ව්‍යාපාරය වත්මන් රජය කඩා බිඳ දමනවිට එසේ කරන්නට එපා යැයි මා විසින් අවධාරණය කළෙමි.

නමුත්, වත්මන් රජය විසින් සිදුකළ එම අත්තනෝමතික විනාශය වෙනුවෙන් මෙරට සහල් පාරිභෝගිකයාට මේ වනවිට වන්දි ගෙවීමට සිදුවී තිබේ. ඉතිහාසයේ වාර්තාගත වී අස්වැන්නක් ලැබී තිබියදීත් සහල් මිල පාලනය කිරීමට නොහැකි වී තිබෙන අතර සහල් මිල පාලනය කිරීම සඳහා වත්මන් රජය විසින් පස්වන ගැසට්ටුවද ඊයේ ප්‍රකාශයට පත්කර තිබේ. එහි සඳහන් වන්නේ සුදු/රතු සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 94 ක උපරිම මිලක්ද, සුදු/රතු කැකුළු සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 94 ක උපරිම මිලක්ද, සුදු/රතු නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 92 ක සහ සුදු/රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89 ක උපරිම මිලක්ද නියම කර ඇති බවයි. මෙය සහල් නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාට අලෙවි කළ යුතු මිලයි.

ගැසට් ගසා වෙළෙඳපොළ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම අපහසු බව වත්මන් රජය අවබෝධ කරගත යුතු අතර මීට පෙර නිකුත් කළ ගැසට් පත්‍ර හතරේම සඳහන් වූ උපරිම මිල සීමාවන්ට යටත්ව පාරිභෝගිකයාට වෙළෙඳපොළේ සහල් සොයා ගැනීමට නොහැකි විය. මේ ආකාරයෙන්ම, රජය විසින් ඊයේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වන උපරිම මිල සීමාවන්ට යටත්වද සහල් ලැබෙන තුරු බලා සිටියහොත් කිසිවෙකුටත් ඉදිරියේදී බත් කන්නට සිදුවන්නේ නැත.


ගැසට් පිට ගැසට් ගැසුවත් වෙළෙඳපොළේ සම්බා සිල්ලර සහල් කිලෝවක සැබෑ මිල රුපියල් 125 ක් පමණ වන අතර නාඩු සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 105 – 110 ත් අතර අගයක් ගනී. ඒ අතරම, කිරී සම්බා සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 140-150 ත් අතර මිලක් ගන්නා අතර කැකුළු සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 100 – 105 අතර මිලක් ගනී.

ආණ්ඩුවට වැරදුණේ කොතනද ?

සහල් මිල තුවක්කුවෙන් පාලනය කළ නොහැකි බව මා දිගින් දිගටම ප්‍රකාශ කළෙමි. එසේම, සහල් මිල ගැසට් ගසාද පාලනය කළ නොහැකිය. කළ යුත්තේ නිසි වෙළෙඳපොළ තරගකාරීත්වයක් ඇති කිරීමයි. ඒ සඳහා අවශ්‍ය සාධක මෙරට වෙළෙඳපොළ තුළ පවතී. ඉතිහාසයේ වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇත. වී වල හිඟයක් නොමැත. මේ නිසා, පිටරටින් සහල් ආනයනය නොකර මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්ය ඇතිකළ හැකිය.

සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇති කරන්නේ කෙසේද ?

මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇතිකිරීමට නම් සහල් මාෆියාවට හොඳ තරගයක් ලබාදීමට හැකි තවත් කණ්ඩායමක් බල ගැන්විය යුතුය. ඒ සඳහා සුදුසුම කණ්ඩායම වන්නේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ වී මොල් හිමියනුයි. සහල් මාෆියාවට සැමදා තර්ජනයක් වූයේ මෙම කණ්ඩායමයි. මොවුන් ශක්තිමත් වුවහොත් ඔවුන්ද වෙළෙඳපොළට පැමිණ කරට කර වී මිලදීගන්නට ඉදිරිපත් වේ. එවිට, සහල් මාෆියාවට අවශ්‍ය තරම් හංගාගන්නට වී තොග මිලදීගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත. මෙම සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් වෙළෙඳපොළේ තරග කරන විට සහල් මාෆියාවට අවශ්‍ය පරිදි සහල් මිල තීරණය කිරීමට හැකියාවක්ද ලැබෙන්නේ නැත.

“ශක්ති” සහල් වැඩසටහනේ දැක්ම

මා විසින් සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සම්බන්ධ කරගනිමින් “ශක්ති“ සහල් ව්‍යාපාරය ආරම්භ කළේ වෙළෙඳපොළේ මෙම තරගකාරීත්වය ඇති කිරීමටයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ කාලයේ මෙරට වෙළෙඳපොළේ සහල් මිල වැඩිවූයේ නැත. මෙම වැඩසටහන කුඩාවට පටන් ගත්තද මෙම සංකල්පයේ තිබූ තර්ජනාත්මක ස්වරූපය අවබෝධකරගත් සහල් මාෆියාව මෙම වැඩසටහන නතර කිරීමට දිගින් දිගටම බලපෑම් කළේය. සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට මෙම වැඩසටහන යටතේ වී මිලදීගැනීමට ලැබිය යුතු මුදල්, මුදල් අමාත්‍යංශය හරහා ලැබීම ඉතාමත් සූක්ෂම ලෙස ප්‍රමාද කිරීමට සහල් මාෆියාව කටයුතු කළ හැටිත් එයට එරෙහිව මා සටන් කළ හැටිත් මේ අවස්ථාවේ සිහිපත් වේ. වර්තමාන රජය කළ යුතුව තිබුණේ “ශක්ති“ සහල් වැඩසටහන තව තවත් ශක්තිමත් කර ඉදිරියට රැගෙන ගොස් වෙළෙඳපොළ තරගකාරීත්වය උපරිම කර සහල් මාෆියාව පුපුරවා හැරීමයි. දැක්මක් ඇතිව වැඩක් කරන්නේ එසේයි. දේශපාලන පාට කණ්නාඩි වලින් නොබලා එසේ කළා නම් අද වනවිට මෙවැනි ලැජ්ජාශීලී ගැසට් නිවේදන පිට පිට ප්‍රකාශයට පත්කිරීමට රජයට සිදු නොවනු ඇත. මේ නිසා, ඉදිරියටත් රජයට ඇති එකම විසඳුම වන්නේ මා විසින් ආරම්භ කළ “ශක්ති“ වැඩසටහනෙන් මට ලකුණු වැටෙනවා යැයි සිතෙනවා නම් වෙනත් නමකින් හෝ එවැනි තරගකාරී වැඩසටහනක් ආරම්භ කර වී තොග සඟවන සහල් මාෆියාව පුපුරවා හැරීමයි.

වාර්තාගත වී අස්වැන්නක් තිබියදී සහල් ආනයනය කිරීම

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට අනිද්දාට විශාල සහල් තොගයක් ආනයනය කිරීමට රජය කටයුතු කිරීමෙන් සහල් ප්‍රශ්නයේ බැරෑරුම්කම පෙනේ. වාර්තාගත වී අස්වැන්නක් ලැබී තිබෙන රටක් මේ ආකාරයෙන් සහල් ආනයනය කිරීම යුක්ති සහගතද ? වෙළෙඳපොළ යාන්ත්‍රණය නිසි පරිදි හසුරුවා ගන්නට අසමත් ආණ්ඩුවක් මෙරට ක‍ෘෂි කර්මාන්තය දියුණු කිරීම කරන්නේ කටින් බතල කොළ සිටුවන න්‍යායටදැයි අපට අසන්නට සිදුවේ. වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට ගොවි ප්‍රජාව ඡන්දය ලබාදුන්නේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙනයි. තමන්ගේ අනාගතය, තමන්ගේ දරුවන්ගේ අනාගතය සරුවනු ඇතැයි බලාපොරොත්තුවක් ඔවුන්ට තිබුණි. තමන් ඇති තරම් වී වගා කරද්දී වත්මන් ආණ්ඩුව පිටරටින් සහල් ආනයනය කරනු ඇතැයි ඔවුන් සිහිනෙන්වත් නොසිතන්නට ඇත. අවසාන වශයෙන් සටහන් කරන්නේ සහල් මිල තුවක්කුවෙන් හෝ ගැසට්ටුවෙන් පාලනය කළ නොහැකි බවයි.

Exit mobile version