වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ අස්වීම “සෞඛ්‍යයට“ තදින් දැනෙයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට කොවිඩ් මර්දන වැඩසටහනවල ප්‍රමුඛතම පෙළේ විශේෂඥයකු ලෙසින් කටයුතු කරන කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සෞඛ්‍ය අමාත්‍යංශ කොවිඩ් මර්දන සායනික කමිටුවෙන් ඉවත් වීම දැවැන්ත ගැටලුවක් ව ඇති බවත් එය විසදා ගැනිමට අමාත්‍යංශයට ලෙහෙසි නොවන බවත් අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
වෛද්‍ය විජේවික්‍රම විසින් එම කමිටුවවේ ඉවත් වීමට ගන්නා ලද තීරණයට තමන් ගරු කරන නමුත් මෙම වැඩ සටහන්වලදී නැතිවම බැරි විද්වතකු වශයෙන් මෙම තීරණය ගැන නැවත සිතා බලන්නැයි තමා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් ඉල්ලීමක් කරන බවද වෛද්‍ය හේරත් මහතා පැවසීය.
කොවිඩ් සායනික කමිටුව තුළ වෛද්‍යවරුන්ගේ තීරණයන්ට ඇහුම්කන් නොදෙන තත්ත්වක් නිර්මාණය වී තිබේ නම් එය නිවැරදි කර ගැනීමට වෛද්‍ය විජේවික්‍රම මහතා ගත් තීරණය හේතුවක් විය හැකි යැයිද වෛද්‍ය හේරත් මහතා අවධාරණය කළේය.
කොවිඩ් වෛරස ආසාදනය සම්බන්ධයෙන් විශාල මෙහෙයක් කරන මෙරට ඉදිරි පෙළ ප්‍රමුඛතම වෛද්‍යවරයකු වන ආනන්ද විජේවික්‍රම මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් මර්දනය සම්බන්ධ විශේෂඥ කමිටුවෙන් ඉවත් විමට ආසන්න හේතුව ලෙස සඳහන් වන්නේ වෛද්‍ය විශෙෂඥයන්ගේ මතය අභිබවමින් ඊට පටහැණි ලෙස එන්නත්කරණය සම්බන්ධ තීරණ ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රියා කිරීමය. විශේෂයෙන් පසුගියදා හම්බන්තොට වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණයන්ට ෆයිසර් එන්නත ලබා දීම අවිද්‍යාත්මක පියවරක් ලෙස විශේෂඥයින් මත පළ කර තිබියදී එවැනි තීරණයක් ගැනීම වෛද්‍ය විජේවික්‍රමගේ අස්වීමට හේතු වූ බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version