වෙන්ට පොලිස්පති දේශබන්දුට  එරෙහිව පොලිස්පතිගෙන් පොලිස් කොමිසම වෙත චෝදනා පත්‍රයක්  !

ඉකුත් අරගල සමයේ ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අරගලකරුවන්ට එම මන්දිරයේ තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල්  ප්‍රමාණය සම්බන්ධයෙන් අනීතික නියෝගයක් කොටුව පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දීම  සම්බන්ධයෙන් බස්නාරහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව  එල්ල වී ඇති චෝදනාවලට අදාළ  චෝදනා පත්‍රය අද (17)  පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයා වෙත සහ පොලිස් කොමිසම වෙත යොමු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම මුදල් සම්බන්ධයෙන් මේ වනවිට විභාග වන මහෙස්ත්‍රාත් අධිකරණයටද අදාළ චෝදනා පත්‍රයේ පිටපතක් යැවීමට කටයුතු යොදා අති බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

2022 ජූලි මස 09 වැනිදා අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අවස්ථාවේ එහි කාමරයක තිබී මෙම මුදල හමුව තිබූ අතර එම මුදල අරගලකරුවන් විසින් ගණන් කර කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

එම මුදල් අධිකරණය වෙත යොමු නොකොට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් වෙත බාර දෙන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝගයක් ලබා දී ඇති බවට ප්‍රකාශ වූ අතර මෙම කරුණ අධිකරණය හමුවේද ඉදිරිපත් විය.


ඒ අනුව මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධකරණය පොලිස්පතිවරයාටද නියෝග නිකුත් කර තිබුණි.

එම නියෝගය ප්‍රකාරව පොලිස්පතිවරයාගේ විශේෂ විමර්ශන ඒකකය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම පරීක්ෂණයට අනුව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා පත්‍රයක් සකස් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම චෝදනා පත්‍රයට අමතරව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සම්බන්ධයෙන්  සාධනීය පියවර නොගැනීම පිළිබඳව ද බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව තවත් චෝදනා පත්‍රයක් සැකසෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

Exit mobile version