ඉලක්කය තිබුණේ ලකුණු 192කි. විස්සයි විස්ස තරගයක ලකුණු 192ක් මොනම කණ්ඩායමකටවත් පහසු ඉලක්කයක් නොවේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 17.4ක දී ඉලක්කය පසු කළහ. පන්දු 14ක් යවන්නට ඉතිරිවී තිබිය දී ලබා ගත් මේ ජයග්‍රහණයේ කැපී පෙනන නියමුවා අංක 3 ට පිතිකරණයට පැමිණි යොවුන් ක්‍රීඩක කමිල් මිෂාරය.
එය ප්‍රේක්ෂකයින් පිස්සු වැට්ටූ පිතිකරණයකි. පන්දු 43ක දී කමිල් නොදැවී ලකුණු 73ක් ලබන්නේය. හතරේ පහර 6කි. හයේ පහර 3කි.

කාලයකින් කුසල් ජනිත්ගේ පුරුදු පිතිකරණය දුටුවෙමු. ඔහු නොදැවී ලකුණු 46ක් ලබන්නේ පන්දු 26ක දී ය. හතරේ පහර 4කි. හයේ පහර 2කි. ඒ පීඩනය කොපමණදැයි වැටහෙන්නේ තමන් යවූ පන්දු ඕවර 17.4 තුළ සිම්බාබ්වේ පන්දු යවන්නන් වයිඩ් පන්දු 09ක් යැවීමය.
කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු රැකීම තේරුවේය. සිම්බාබ්වේ කණ්ඩායම පන්දු ඕවර 20 තුළ කඩුළු 08ක් දැවී ලකුණු 191ක් ලබා ගන්නේ තියුණු ප්‍රහාරයක් සමගිනි. .
සිම්බාබ්වේ කඩුලු රකින ටඩිවනෂේ මරුමානි හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමග පන්දු 44ක දී ලකුණු 51කු ලැබුවේය. ඒ හැරෙන්නට හැම පිතිකරුවෙක්ම ඉතාම අඩු පන්දු ගණනක දී වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කරනු දුටුවෙමු. සේන් විලියම් පන්දු 11කී ලකුණු 23කි. සිකන්දර් රාසා පන්දු 18ක දී ලකුණු 28කි. රියන් බුර්ල් පන්දු 15ක දී ලකුණු 26කි. අවසන් පිතිකරු හැර සියලුම පිතිකරුවන්ගේ ප්‍රහාරක වේගය 100ට වැඩිය.
යළිත් පන්දු යවන්නන් වයිඩ් 7ක් සහ එක් නිපන්දුවක් යවා . වැඩිපුර පන්දු ඕවරයකුත් පන්දු දෙකක් සිම්බාබ්වේ කණ්ඩායමට අපේ පන්දු යවන්නන් ප්රදානය කර තිබිණි.
දුෂ්මන්ත චමීර ලකුණු 33ට කඩුළු 2ක්, දුෂාන් හේමන්ත ලකුණු 38ට කඩුළු 03ක් ලැබුවේය. මතීෂ පතිරණ ලකුණු 40ට කඩුල්ලකි. බිනුර ප්‍රනාන්දු ලකුණු 48කට කඩුල්ලකි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි කුසල්ගෙන් සහ පැතුම්ගෙන් ක්‍රීඩා ලෝලීන් දුටුවේ ඔවුන් විසින් ගොඩනගන අලංකාර පිතිකරණ රටාවය. පැතුම් සහ කුසල් හතර අතේ පහර එල්ල කළහ. පන්දු විස්සක් තුළ පැතුම් ලකුණු 33කි. පන්දු 17ක් තුළ කුසල් ලකුණු 30කි.
මුල් කඩුල්ල ලෙස දැවී යන්නේ කුසල්ය. 5 වැනි ඕවරයේ 2 වැනි පන්දුවෙන් කුසල් දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 58කි. ලකුණු 76 දී පැතුම් දැවී ගියේය.

එතැන් සිට තුන්වන කඩුල්ලට පන්දු 63ක් තුළ ලකුණු 117ක් ලබාගෙන කුසල් ජනිත් සහ කමිල් මිෂාර හරාරේ පිටියේ සිම්බන්ට ක්‍රිකට් එපා කළහ. කමිල් නොදැවී ලකුණු 73කි. ඒ පන්දු 43ක් තුළය. කුසල් නොදැවී ලකුණු 46කි. ඒ පන්දු 26ක් තුළය.
දවාගත් කඩුළු දෙක බ්‍රැඩ් එවනස් සහ සිකන්දර් රාසා විසින් දවාගත්තේය.
ඊයේ අන්ත කුජීතවන්නට සිම්බාබ්වේ කණ්ඩායම එල්ල කළ ප්‍රහාරයට ඒ බරින්ම පිළිතුරු දී තිබිණි. විස්සයි 20 තරගාවලියත් දිනුම්ය. තරගයේ වීරයා කමිල් මිෂාරය. තරගාවලියේ වීරයා දුෂ්මන්ත චමීරය.







