විශේෂ අධිකරණය ඉදිරියේ පාස්කු ප්‍රහාර නඩුව කැඳවයි…

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 04 වනදා කැඳවන ලෙසත් අදාල නඩුවේ විත්තිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

සභාපති විනිසුරු දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍ර එදින ඔවුන්ට බාරදීමට නියමිතය.


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා  23,270 ක්  නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි,  මොහොමඩ් මිල්හාන්,  සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු සැකකරුවන් 25 දෙනා  එල්ල කර ඇත.

මහත් ආන්දෝලනයකට තුඩුදුන් ජාතික වැදගත්කමක් සහිත මෙම නඩුකරය විභාග කිරීම සඳහා ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස  අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති සංජය රාජරත්න  විසින් කරන ලද ඉල්ලීමට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර තිබුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී මිනීමැරුම් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට     එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තවත් නඩු දෙකක් පවරා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ –

Exit mobile version