ශ්‍රියානි විජේසිංහ
විශේෂඥ වෛද්‍යවරු සහ ශ්‍රේණි වෛද්‍යවරු රට හැර යෑම වේගවත් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වන විට ශ්‍රේණි වෛද්‍යවරු 4000 – 5000 පමණ දෙනා පශ්චාත් උපාධිය හැදෑරිම මුළුමනින්ම නතර කර විදෙස් රටවල විභාගයන් සඳහා පෙනී සිටීමට ආරම්භ කර ඇතැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
මේ තත්ත්වය මත ඉදිරියේදී රට තුළ විශේෂඥ වෛද්‍යවරු බිහි වීම ඇණහිටීමේ තත්ත්වයක් නිර්මාණය වන අතර දැනට සිටින විශේෂඥ වෛද්‍යවරුන්ද රට හැර යාමට පටන් ගෙන ඇතැයි ද හෙතෙමෙ පෙන්වාදේ.
මේ අනුව පසුගිය වසර තුළ දී පමණක් රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංඛ්‍යාව 300ක් වන අතර ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 800කි. මොවුන් රට හැර යාම සිදුවන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 2000ක් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 18000ක් සිටින පසුබිමකදී යැයිද පැවසේ.
හදිසි අනතුරු ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ට පුහුණු කිරීමට වසර කීපයකට ඉහතදී සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළ අතර එහි ප්‍රතිපලයක් ලෙස අපට රට තුළ හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරු 30 දෙනෙකු සේවයේ නියුතුව සිට ඇති අතර මේ වන විට ඉන් වෛද්‍යවරු 23ක් රට හැරගොස් ඇති අතර ඉතිරි වෛද්‍යවරුන් 7ද රට හැරයාමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වන බව සංගමය සඳහන් කරයි.
ජාතික රෝහල තුළ එක්තරා ඒකකයක සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනාගෙන් 15 දෙනෙකුම මේ වන විට රටහැර ගොස් ඇති අතර ඉතිරි වෛද්‍යවරු 5 දෙනාගෙන් තුන්දෙනකුම දැනටමත් විදේශ ගතවීමට සඳහා අවශ්‍ය විදේශීය විභාගයන්ට පෙනී සිටිමින් සිටින බවද වෛද්‍ය චමිල් සඳහන් කරයි.
කොළඹ ජාතික රෝහලට තුළ නිර්වින්දන වෛද්‍යවරුන් 130 දෙනෙකු සිටිය යුතු නමුත් මේ වන විට එහි සිටිනුයේ වෛද්‍යවරු 80ක් පමණක යැයිද විදේශයන්හී නිර්වින්දන වෛද්‍යවරුන්ට ඉහළ ඉල්ලුම ඇති බැවින් මේ ප්‍රමාණය ඉදිරියේදී තවත් අඩුවිය හැකි යැයිද වෛද්‍ය විජේසිංහ පෙන්වාද්.
මේ වන විට එංගලන්තය තුළ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට විශාල ඉල්ලුමක් පවතින බවත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්යායතනයන්ට වෛද්‍යවරුන් ඉල්ලා එරටින් ඉල්ලීම් නිරන්තරයෙන්ම ලැබෙන බවත් සංගමය පෙන්වාදේ.