විශ්ව වාස්තු සම්පතක් වූ කිරිවෙහෙරේ අවුරුදු 900ක් පැරණි බදාම තලයට  සිදුවූයේ කුමක් ද?

පුරාණ පොලොන්නරුව කිරි වෙහෙරේ හතරැස් කොටුව මත බෝල්ට් ඇණ බස්සවා කොන්ක්‍රීට් ආස්තරණ දමා වසර 900ක් පැරණි බදාම තට්ටුව විනාශ කර ඇති අයුරු....

විශ්ව  වාස්තු සම්පතක් සේ සැලකෙන   පොලොන්නරුව කිරිවෙහෙරේ  විශිෂ්ට ලෙස ආරක්ෂා වී ඇති වසර 900ක් පැරණි බදාම තලය මත  දැවැන්ත බෝල්ට් ඇණ බස්සවා, බදාම තලය කඩතොලු කර   ඇත්තේ  කිරිවෙහෙර සංරක්ෂණ කටයුතු  පිළිබඳ පුරාවිද්‍යා විද්වත් සභාවක් විසින් ඉදිරිපත් කළ සියලුම නිර්ණායක උල්ලංඝණය කරමින් බවට චෝදනා එල්ලවෙමින් ඇත.

පොළොන්නරුව කිරිවෙහෙර….

පුරාවිද්‍යා දෙපාරත්මේන්තුව මෙම සංරක්ෂණය සඳහා යෝජනා ඉදිරිපත් කරන විටත් මෙම   බදාම තලයේ  කොටසක් ගලවා ඉවත් කර තිබී ඇත.

අවසානයේ දීර්ඝ සංවාදයකින් පසු  යෝජනා වී තිබුණේ    සියවස් ගණනක් පැරණි පුරාණ බදාම තලය ආරක්ෂා කරගෙන කඩතොළු පමණක් වසා හුණු පිරියම් කර සංරක්ෂණය කිරීමය.


දාගැබේ හතරස් කොටුව මත පුරාවිද්‍යා උපදෙස් නොතකා දැවැන්ත ඇණ  සහිත යකඩ පුවරු සවිකර සිමෙන්ති යොදා ඉදි කිරීමක් සිදුකර තිබිණි. මෙම ඉදිකිරීම කර ඇත්තේ දාගැබේ ගර්භයේ හැඩය ගැනීමේ අරමුණින් සහ කැරකෙන ඉනිමග සවිකිරීමට බව කියවුනත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ  එවැනි ඉදිකිරීමක් අවශ්‍ය වන්නේ අලුතින් ඉදිවන දාගැබකට මිස මෙවැනි පෞරාණික දාගැබකට නොවන බවය.

හතරැස් කොටුව මත පුරාණ බදාම තලය වනසා කළ ඉදිකිරීම්….

දෝලනය වන ඉනිමගක් සඳහා මෙය භාවිත කළ හැකි බව කියවුන ද  මෙවැනි  පෞරාණික දාගැබ් සංරක්ෂණයේ දි සිදුවිය යුතු සියුම් පිළිසකර කිරීම් සඳහා පුහුණු මිනිස් ශ්‍රමයම භාවිතා කිරීම සඳහා සුදුසු ආධාරක යොදා ගැනීම  සිදුවන බව පුරවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විද්වත් මණ්ඩලයේ යෝජනා

  1. කිරිවෙහෙර සංරක්ෂණය සඳහා රැස් වූ විද්වත් මණ්ඩලය අවසාන වශයෙන් තීරණ කර තිබුණේ ස්තූපයේ දැනට කඩතොලු වී ඇති ස්ථාන පමණක් පුරවා තහවුරු කිරීම,
  2. මෙම තහවුරු කිරිමේ දී වර්තමානයේ දක්නට ඇති ස්ථූපයේ හැඩය වෙනස් නොකිරීමට දැඩිව සැලකිලිකමත් වීම,
  3. කිසිම අවස්ථාව පැරණි බදාම ස්ථරයට හානි නොවන ලෙස අලුත් බදාම ස්ථරය යෙදීම,
  4. ගර්භයේ ග්‍රිඩ් සැලැස්මක් හදා එක් එක් ග්‍රිඩ් කොටසට අනුරූපීව සරංක්ෂණය කළ යුතු අකාරය, යොදා ගන්නා ද්‍රව්‍ය,  උපකරණ හා බදාම මිශ්‍රණය පිළිබඳ විස්තරාත්මක  අධ්‍යයනයකින් පසු සංරක්ෂණය ආරම්භ කිරීම,
  5. සංරක්ෂණය සඳහා සෑම අවස්ථාවකම මුල් බදාමයට වඩා දුර්වල බදාමයක් යොදා ගැනීම,
  6. කිසිම අවස්ථාවක සිමෙන්ති බදාම සංරක්ෂණය සඳහා භාවිත නොකිරීම
  7. ජීවමාන ස්ථූපයක් සේ හුණු පිරියම් කිරීම  යන නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය ගාමිණී රණසිංහ මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග යන දෙපළම මෙම විද්වත් සභාව නියෝජනය කළහ.

 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ

මේ පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහගෙන් ලංකාසර කළ විමසීමකදී මහාචාර්යවරයා ප්‍රකාශ කළේ  කිරිවෙහෙරේ පෞරාණික බදාම තලයට හානිවන කිසිම මැදිහත්වීමකට තමන් සිටින තුරු ඉඩ ලබා නොදෙන බවය.

මේ  සංරක්ෂණ කටයුතු අරභයා විද්වත් කමිටුවක් රැස් කරනු ලැබුවේ තමන්ගේ මැදිහත්වීමෙන් බව පැවසූ මහාචාර්යවරයා එම  විද්වත් කමිටුවෙන් ලද නිර්දේශ හා යෝජනා මතම පිහිටා සංරක්ෂණ කටයුතු සිදුකරන බව කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිරිවෙහෙරේ ඉවත් කළ බව කියන බදාම පොලොන්නරු යුගයට අයත් පෞරාණික බදාම තල නොවන බවත්,  පසුගිය සියවසේ මුල සහ අග භාගවල එච්.සී.පී. බෙල්, සෙනරත් පරණවිතාන වැනි පුරවිද්‍යාඥයින් විසින් සංරක්ෂණය සඳහා යොදා ගත් බාදාම කොටස් බවත් මහාචාර්යවරයා කීවේය.

Exit mobile version