විශ්‍රාම දීමනා ජිවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ දමන්න සූත්‍රයක්! පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශයක්!

විශ්‍රාමික දීමනා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීමට  යම් කිසි සූත්‍රයක් සකස් කරන ලෙස  ක්‍රම සහ විධි  පිළිබඳ කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට  නිර්දේශ නිරදේශ කළේය.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ  සභාපතිත්වයෙන් ඊයේ (29)   පාර්ලිමේන්තුවේදී  රැස්වූ අවස්ථාවේදීය.

ක්‍රම සහ විධි  පිළිබඳ කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක…

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, විශ්‍රාමිකයන්ගේ සංගම් නියෝජිතයන් ද, මේ රැස්වීම සඳහා කැඳවා තිබිණ.

දැනට සක්‍රීය විශ්‍රාමිකයන් ලක්ෂ 7 කට අධික ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව සිටින බව දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් මෙහිදී අනාවරණය වූ අතර, යම් පිරිසක් පරීක්ෂණ, මියයාම් යනාදී හේතු නිසා සක්‍රීය තත්ත්වයේ නොසිටින බවත් හෙළිවිය.


වසරකට විශ්‍රාමිකයන් 26000 ක් පමණ (සිවිල් 19000, ත්‍රිවිධ හමුදා 7000)  සක්‍රීය තත්ත්වයට එකතු වන අතර, 20000 ක් පමණ මියයාම හේතුවෙන් විශ්‍රාමික ලැයිස්තුවෙන් ඉවත් වන බව මෙහිදී අනාවරණය විය.

මසක් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහා රු. බිලියන 413 ක් පමණ වෙන් කර ඇති බවත්, අවු. 55 සම්පූර්ණ කොට විශ්‍රාම යන අය සඳහා ඉල්ලා සිටින පරිදි විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයක් පාරිතෝෂික ලෙස ගෙවන අතර, එය වසර 10 ක් ඇතුළත විශ්‍රාම වැටුපෙන් අඩු කර ගන්නා බවත් වාර්තා විය.

විශ්‍රාමික නියෝජනය…

2016.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන් සඳහා සිදු කරන ලද වැටුප් වැඩි වීම 2020.01.01 දක්වා අදියර 5ක් යටතේ ක්‍රියාත්මක වූ බවත්, 2020.01.01 දිනෙන් පසු විශ්‍රාම ලැබූ අයට එම වැටුප් වැඩි වීම අනුව ගලපන ලද සම්පූර්ණ විශ්‍රාම වැටුප ලැබීම හේතුවෙන් 2017 ට පෙර විශ්‍රාම ලැබූ අය හා 2020න් පසු විශ්‍රාම ලැබූ  අය අතර විශාල විශ්‍රාම වැටුප් විෂමතාවයක් ඇති වී ඇති බවත් මෙහිදී සාකච්ඡා විය.

2020.01.01 දිනට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වර්ධකය අත්හිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින්  ගත් තීරණයද ඊට හේතු වු බවත් ඊට අමතරව ගුරු විදුහල්පතිවරුන් සඳහා 2021 දී සිදු වූ වැටුප් වැඩි වීම හේතුවෙන් 2017/01/01 ට පෙර විශ්‍රාම ලැබු පිරිසට දැඩි විශ්‍රාම වැටුප් විෂමතාවයක් උද්ගත වී ඇති බවත්, මෙහිදී සඳහන් විය.

එමෙන්ම, රාජ්‍ය සේවකයන්ට 2024/01/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රු.10,000ක වැටුප් වැඩි වීමක් ලබා දුන්නද විශ්‍රාමිකයන්ගේ දීමනාව වැඩි කර ඇත්තේ රු.2500/ක් පමණක් බවත්, වැටුප් වැඩිවීම හා සලකා බලන විට විශ්‍රාම වැටුප් වැඩි වී ඇත්තේ 25%ක ප්‍රමාණයකින් බවත් එම වැඩිවීම ජීවන වියදම වැඩි වීම හමුවේ කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් විශ්‍රාමිකයෝ කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ.

විශ්‍රාමික දීමනා, මානුෂික ව සළකා බලා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව  ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙස සභාපතිවරයා නිර්දේශ කළේය.

අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගිය අයට හිමිවන අතර, එම දිනට පෙර විශ්‍රාම ගිය අයට ද, එම ප්‍රතිලාභ ලැබෙන ආකාරයකින් රක්ෂණ ක්‍රමය පුළුල් කළ යුතු අතර, එමගින් රෝහල්ගත වීම් දීමනා, සැත්කම් දීමනා, මරණ පාරිතෝශික දීමනා යනාදිය අදාළ දිනට පෙර විශ්‍රාම ගිය අය සඳහා ද ලබාදීමේ අවශ්‍යතාව විශ්‍රාමිකයන්ගේ පාර්ශවයෙන් අවධාරණය කෙරිණ.

අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ 2016.01.01 දිනට පෙර විශ්‍රාම ලැබූවන් සඳහා ද ලබා දීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.

විශ්‍රාමිකයන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ බලයලත් නියෝජිතයෙකු පත් කරන ලෙසත්  සහ විශ්‍රාමික සංගම් නියෝජිතයන් හා එම බලයලත් නිලධාරියා අතර මූලික සාකච්ඡාව දෙසැම්බර් 15 වෙනි දින උදේ 9.00ට පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන ලෙසත්  කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක   මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩිහිටි දීමනාව ලබා ගන්නා අය ද, ආබාධිත පුද්ගලයන්ද සමාජීය ප්‍රතිලාභ ලැබිය යුතු අයගේ ලැයිස්තුවට (Social Registry)  ඇතුලත් කළ යුතු බවත්, විශ්‍රාම වැටුප් ගෙවීමට සැළකිය යුතු බලපෑමක් සිදුවන බැවින් විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මරණ ඉක්මණින් යාවත්කාලීන කළ හැකි ඩිජිටල් ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ද, මෙහිදී අවධාරණය කෙරිණ.

 

Exit mobile version