විනය පරීක්ෂණයට ලක්වූවන්ට රනිල්ගෙන් තවත් සතියක්

රංගේ-රවි රනිල්ට එරෙහි වෙයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂවලින් ඉදිරි මහමැතිවරණයට තරඟ කරන සහ එම පක්ෂවලට සහයෝගය දක්වන 333 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම තවත් සතියකින් ප්‍රමාද කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කළේය.

මහමැතිවරණයට ඉදිරිපත්වීමට නාමයෝජනා භාරදී ඇති 99 දෙනෙක් සහ පළාත් පාලන ආයත‍නවල මහජන නියෝජිතයින් ලෙස කටයුතු කරන 234 දෙනකු සම්බන්ධව කරන විනය පරීක්ෂණ ප්‍රමාද කිරීමට තීරණය වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරු 10.45 ට පමණ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ වී 12:30 පමණ වනවිට අවසන් විය.


කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම් අවසන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ පක්ෂයට එරෙහිව ගිය අයට විනය පරීක්ෂණ පැවැත්වීම සතියකින් කල් දැමිය යුතු බවත් එම පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති නීතිඥ තිලකරත්න මහතාගේ සහභාගීත්වයෙන් යුත් කමිටුවක් පත් කළ යුතු බවටද යෝජනා කර සිටින බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ගෙන එන ලද එම යෝජනාවට අනුමැතිය හිමි වුවද විනය පරීක්ෂණ ප්‍රමාද කරනවාට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ වැඩි කැමැත්තක් ඇති බවක් පෙනෙන්නට නොතිබිණි.

විනය පරීක්ෂණ ප්‍රමාද කිරීම තුළින් එක්සත් ජාතික පක්ෂයට අවාසියක් මිස කිසිදු වාසියක් නොලැබෙන බවද මෙහිදී ප්‍රකාශ කළ රවි කරුණානායක මහතා තවදුරටත් මේ අය පක්ෂයේ තබාගැනීම පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් බව පෙන්වාදුන්නේය.

“ඔව් ඒක ඇත්ත. අපි කවදාවත් තීන්දු තීරණ නිසි වෙලාවට ගත්තෙ නැහැ . මම කට කැඩෙනකම් කෑ ගැහුවා පළාත් පාලන ආයතනවල කණ්ඩායම් නායකත්වයට එරෙහිව ලියුම් ගහන්න කියලා. නමුත් අද වන තෙක් එය කරලා නැහැ.. අද ඒ ඇතැම් නායකයින් ආණ්ඩුවට උදව් කරනවා. තවත් සමහර අය සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට උදව් කරනවා. ඉතින් මේ අය තවදුරටත් පක්ෂයේ තබා ගැනීමෙන් අපට ලැබෙන වාසිය කුමක් දැයි” රංගේ බණ්ඩාර මහතා එහිදී ප්‍රශ්න කර සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අය ඉවත් කරන එක එකවර කළ නොහැකි බැවින් එම නීත්‍යානුකූලව සිදු කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරද්දී නැවත වරක් නැගී සිටි රංගේ බණ්ඩාර මහතා කියාසිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරියක් විපක්ෂයට විරුද්ධව ක්‍රියා කළ අවස්ථාවේ ඇය ශ්‍රීලනිපයෙන් නෙරපා දැමූ බවත් එම තීන්දුවට එරෙහිව ඇය අධිකරණය හමුවට ගියත් පලක් නොවුන බව පෙන්වා දුන්නේය.

Exit mobile version