විදේශ ඇමති දිනේෂ් අද 44 වැනි ජීනීවා මානව හිමිකම් සැසිය අමතයි…

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන අද (23) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතන්නේය. මෙවර ඔහ සමුළුව අමත්නනේ අන්තර්ජාලය ඔස්සේය.    රජය විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සමුළුව නියෝජනය කිරීමට කමිටුවක් නම් කර තිබේ.  කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල හා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මේ කමිටුවට අයත් වෙති.  නම් කරන ලද කමිටුව ද අද අන්තර්ජාලය ඔස්සේ සමුළුවට සහභාගිවීමට නියමිතයි.

සමුළුවට සහභාගීවීමට පෙර මාධ්‍යය ඇමතූ විදේශ අමාත්‍ය දිනෂේ ගුණවර්ධන පැවසුවේ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධව නිවැරදි තොරතුරු සමුළුවේ සාමාජික රටවල් වෙත ඉදිරිපත් කිරීමට තමන් ඇතුළු කණ්ඩායම  අපේක්ෂා කරන බවය.

මේ අතර  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9 කට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් පිළිබද මහ කොමසාරිස් මිචෙල් බැචලේ සකස් කළ විශේෂ වාර්තාව  හෙට මෙරට වේලාවෙන් රාත්‍රී 7 . 30 ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.


ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සම අනුග්‍රහය දැක්වූ රටවල් 06 ක්  සකස් කළ විශේෂ යෝජනාවලියක් ද සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පත් කර ඇති මධ්‍ය කණ්ඩායමට අයත් එම රටවල් වන්නේ එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි රාජ්‍යයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19 ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ දේහයන් අනිවාර්යෙන් ආදාහනය කිරීමේ මෙරට ප්‍රතිපත්තිය, එම රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සුදානම් වන යෝජනා අතර ප්‍රමුඛ බව වාර්තා වේ.  මීට අමතරව ශ්‍රී ලංකාව තුළ සිදු කල සියලුම මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අධ්‍යයනය කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක වැදගත්කම මෙන්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකුලව පළාත් සභා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීම ද සෙසු යෝජනා අතර වන බව පැවසේ.

Exit mobile version