විදුහල්පති කෙනෙක් පත්වනතුරු වැඩ බලන්න දුන් දේශපාල හෙංචයියාට විදුහල්පති කම දෙන්නලු… ගම්පහ පොහොට්ටු බලවතියක් සහ බලවතෙක් තුට්ටු දෙකේ ගේමක…

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කර එවූ ශ්‍රේණි ධාරී විදුහල්පතිනියට වැඩ භාරගන්න එන්න දීලා නෑ....

කීර්ති ප්‍රනාන්දු –

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ  වේවැල්දෙනිය මහා  විද්‍යාලයට විදුහල්පතිවරයකු පත්කිරීමට  යාමේදී  සිදුවන දේශපාලන බලපෑම් හේතුවෙන්  පාසලේ පරිපාලන කටයුතු මෙන්ම සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද  දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී ඇතැයි  වාර්තා වේ. 

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන බලවතුන් දෙදෙනෙකු සහ  ප්‍රදේශයේ සිටින ඔවුන්ගේ ආධාරකරුවන්ගේ බලපෑම් හේතුවෙන්  පාසලට ශ්‍රේණිධාරි විදුහල්පතිවරයකු පත් කිරීමට මේ ලෙස දැඩි බාධා එල්ල වී ඇතැයි අධ්‍යාපන පරිපාලන අංශ හෙළිදරවු කරයි.  .

සිසු සිසුවියන්  400 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන මෙම පාසල මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ඉතා උසස් අධ්‍යාපන ප්‍රතිඵල පෙන්වූ පාසලක් ලෙස  හැඳින්වේ  .

විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ස්වාමීන් වහන්සේ ඉකුත් 2023 වසරේ අගෝස්තු මාසයේදී ස්ථාන මාරුවීමක්  ලබා ගිය පසු   පාසලට සුදුසුකම්ලත් ශ්‍රේණිධාරී විදුහල්පතිනියක්  ලබාදීමට  අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තද  ප්‍රබලව ක්‍රියාත්මක වන දේශපාලන බලපෑම් හේතුවෙන්  එම විදුහල්පතිනියට  පාසලේ සේවයට වාර්තා කිරීමට  නොහැකි වූ බවද  සිසුන්ගේ දෙමාපියෝ කියා සිටිති  .


මේ තත්ත්වය නිසා දිනෙන් දින පාසලේ  අධ්‍යාපන කටයුතු මෙන්ම පරිපාලන කටයුතුද බිඳ වැටෙමින් පවතින බවත් ඇතැම් දෙමව්පියන් තම දරුවන් මෙම පාසලෙන් අස්කරගෙන වෙනත් පාසල් වලට  රැගෙන යාමට  පෙළඹී ඇති  පවසන සිසුන්ගේ දෙමව්පියන් පාසලේ මේ තත්ත්වය මත  ගුරු මණ්ඩලයද දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව සිටින බවද කියයි  .

මේ පිළිබඳව අප කළ විමසුමක දී  මිනුවන්ගොඩ ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ කලාප ලේකම් එස්.පී.සී . දයාල් පතිරණ කීවේ මේ තත්ත්වය කිසිම ශිෂ්ඨ සම්පන්න සමාජයක් බලාපොරොත්තු නොවන බවය.

“වැඩ භාර ගැනීමට පැමිණි ශ්‍රේණිධාරි සුදුසුකම්ලත් නව විදුහල්පතිනියට වැඩ භාර ගැනීමටපාසලට එන්නවත් දෙන්නේ නැතුව  දේශපාලන බාධා කිරීම් කරනවා. මේ  පිළිබඳව අපේ  සංගමය දැඩි විරෝධය ප්‍රකාශ කරන කරන බව දැන්විය යුතුයි.   සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා හැකි ඉක්මනින් සුදුසුකම්ලත් ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙකු  පාසලට පත් කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගතයුතුයි.

මිනුවන්ගොඩ  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා ගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ මෙවැන්නකි.

“අප  එම පාසලට ශ්‍රේණිධාරී  සුදුසුකම් ලත් ඉතා හොඳ විදුහල්පතිනියක්  පත් කළා. නමුත් දේශපාලන බලපෑම් මත එම විදුහල්පතිතුමියට  සේවයට වාර්තා කරන්න පාසැලට එන්න දුන්නේ නෑ  .දේශපාලන බලපෑම් කරන අය කියන්නේ   පාසලේ වැඩ ආවරණය කිරීමට භාර දුන් ගුරු මහත්මාව විදුහල්පති ලෙස පත් කරන ලෙසයි.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“නමුත් ඒක කරන්න බැහැ  .කොහොම හරි දේශපාලන බලපෑම් කරපු අය තේරුම් අරගෙන තියෙනවා කරපු වැඩේ වැරදියි කියලා  . එම පාසලට ශ්‍රේණිධාරී සුදුසුකම්ලත් ඉතා හොඳ විදුහල්පතිවරයෙකු ඉක්මනින්ම පත් කිරීමට මේ වන විට කටයුතු කරගෙන යනවා  යැයි කිය. “

 

Exit mobile version