විදුලිබිල වැඩි කරන තීරණය බල රහිත කරන්නැයි අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්!

current-bill

ඒ.ජේ.අබේනායක –

ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය කර ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, එම සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් අභියාචනාධිකරණයට ඊයේ (24 දා) රිට් ආඥා පෙත්සමක් ගොනු කළහ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සියලු දෙනා, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් හා නීතිපතිවරයා නම්කොට තිබිණි.

මෙම අවස්ථාවේදී විදුලි ගාස්තු ඉහළ නොදමන ලෙසට මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර තිබියදීත් එකී නිර්දේශ නොතකා කැබිනට් මණ්ඩලය ගත් තීරණය නීති විරෝධී බවත් ස්වාධීන කොමිෂන් සභාවක් වන මහජන උපයෝගිතා කොමිෂන් සභාවට බලපෑම් කිරීම හා බලපෑමක් වන අයුරින් කටයුතු කිරීමේ අයිතියක් වගඋත්තරකරුවනට නොමැති බවත් පෙත්සම්කරුවො එමගින් අභියාචනාධිකරණටය පෙන්වා දුන්හ.

පෙත්සම්කරුවන් කියා සිටියේ 2023.01.09 දිනැති එම කැබිනට් තීරණය නීතිමය බලයෙන් ඔබ්බට ගිය එකක් බවය.

එම කරුණ පොදු ජනතාවට දැඩිව බලපාන හදිසි කරුණක් වන බැවින් සිය පෙත්සම ලබන 26 වැනිදා කැඳවීමට දින නියම කරන ලෙස නීතිඥ සංජය එදිරිසිංහ ගේ උපදෙස් පරිදි ජේෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ සමග නීතිඥ අනුරාධ කිරලවැල්ල මගින් ගොනු කළ එම පෙත්සමෙන් පෙත්සම්කරුවන් ඉල්ලා තිබිණි


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින –

Exit mobile version