විදුර මැදිහත්වෙයි…. ඓතිහාසික සොයිසා ගොඩනැගිල්ලේ විනාශය තාවකාලිකව නවතී!

කොළඹ ඓතිහාසික භූ සලකුණක් වූ සොයිසා ගොඩනැගිල්ල කඩා දැමීම මේ මොහොතේ සිට නතර කළ බව  ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය  විදුර වික්‍රමනායක පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින්  මෙම ගොඩනැගිල්ල ට සිදුකිරීමට යන විනාශය පිළිබඳ දැනුම්වත්ව සිටිය දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග  මේ  පිළිබඳව තමන්ගේ බලතල ප්‍රකාරව ක්‍රියාකර නොතිබුණු බවත්,  අනතුරුව රාජ්‍ය ඇමතිවරයාගේ නියමෙයන් පුරාවිද්‍යා නිලධාරීන් යොදවා පොලිස් පැමිණිල්ලක් කර පැමිණිල්ලේ තොරතුරු ඇමතිවරයා වෙත ගෙන්වා ගැනීමට සිදු වූ බවත් රාජ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග  අප කළ විමසුමක දී හෙළිදරවු කළේය.

මෙම ගොඩනැගිල්ල  කඩා බිඳ දැමීමට කටයුතු කර තිබුණේ  ගොඩනැගිල්ලට කිසිදු හානි යක් සිදු  නොකළ යුතු බවට ඉකුත් සිකුරාදා පොලිසියේ පැමිණිල්ලක් ද දමා තිබූ පසුබිමක බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.


මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ලංකාසරට ප්‍රකාශ කළේ  මීට මාසයකට පමණ පෙර තමන්  මේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ල සම්බන්ධයෙන්   සංරක්ෂණ  සැලසුමක්  ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා නිලධාරීන්ට නියම කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ මේ සිදුවීම වහාම නතර කළා. මේ ගැන පුලුල් පරීක්ෂණයක් පවත්වනවා.  මෙවැනි සිදුවීම් තව බොහෝ තැන්වල වෙන්න නියමිත බව දැන් හෙළිදරවු වෙනවා.  ඒ සියලු දේ සම්බන්ධව දැඩිව ක්‍රියාත්මක වන්න මා සූදානම්.“  රාජ්‍ය ඇමතිවරයා කීවේය.

Exit mobile version