විත්ති කූඩුවට නොනැග සිටි මෛත්‍රීට වෙච්චි දේ… අවවාද කර කූඩුවට නග්ගවයි!

විවෘත අධිකරණයේදී පාස්කු ප්‍රහාරයට අදාල  නඩුවක් කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවෙක් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විත්ති කූඩුවට නොනැග සිටිය දී  මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඔහුට අවවාද කර කූඩුවට නැග්ගවීමේ සිද්ධියක්   කොටුව මහෙස්ත්‍රාත්  අධිකරණයෙන් අද (27) වාර්තා විය.

මෙම සිද්ධිය වාර්තා වූයේ පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එකී ප්‍රහාර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හා රටේ විධායක ජනාධිපතිවරයා ලෙස වළක්වා ගැනීමට අපොහොසත්වීම අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අද කැඳවූ අවස්ථාවේ දී ය.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පාදයක් අහිමි වු පුද්ගලයෙකු සහ ගරු සිරිල් ගාමිණී පියතුමා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

එම නඩුව අද දින විවෘත අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදි මෛත්‍රීපාල සිරිසේන විත්ති කූඩුවට නැගීමකින් තොරව ඉන් පිටත රැඳී සිටියේය.


ඒ අවස්ථාවේදී පැමිණිලිකරුවන් වෙනුවන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සැකකාර මෛත්‍රීපාල සිරිසේන විත්ති කූඩුවෙන් පිටත රැඳීසිටීම කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් විරෝධතාව පළකර සිටියේය.

සිය සේවාදායකයාට එරෙහිව පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදුනොකළ බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණයට පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේ දි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පෙන්වා දුනනේ අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ එම සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන තුරු වැළැක්වීමක් මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙසට නියෝගයක් නොවන බවය.
අනතුරුව නඩුවේ සැකකරුගේ නම ප්‍රකාශකර නැවත අඬගසන ලෙස අධිකරණ භාෂණ පරිවර්තකවරියට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

දෙවන වරට නඩුව කැඳවූ පසු මෛත්‍රීපාල සිරිසේන විත්ති කූඩුවට නැග්ගේය.

නඩුව නැවත කැඳවන විටදී සැකකරුවෙකු සිටිය යුතු ස්ථානය වන විත්ති කූඩුවට මින් ඉදිරියට නගින ලෙස ඔහුට මහෙස්ත්‍රාත්වරයා අවවාද කළේය.

පසුව එය ලබන මාර්තු 17 වනදා නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ – 

Exit mobile version