වැලිපැන්නේ දී හෙල්මට්වලින් ගසා පුද්ගල ඝාතනයක් කළබවට සැක පාසල් දරුවන් 03 භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් 03ක ගේ වැඩ තහනම්…

පසුගිය පෙබරවාරි 14 දා  වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පටු මාර්ගයකදී යතුරුපැදි හෙල්මට්වලින් පහරදී  34 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාලව මතුගම මහේස්ත්‍රාත්  අධිකරණයේ නියෝගයක් මත මාකොළ ළමා නිවාසයේ රඳවා සිටි සැකකාර දරුවන් තිදෙනා භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

අනාරක්ෂිතව අධික වේගයෙන් යතුරුපැදි ධාවනය නොකරන ලෙස කළ අවවාදයකට උරණ වී මෙම පාසල් සිසුන් තිදෙනා හෙල්මට්වලින් පහර දී ඝාතනය කර තිබුණ් රංග විරාජ් නැමැති 34 හැවිරිදි එක් දරු පියෙකි.

මෙම නඩුව පසුගිය අප්‍රේල් 18 දා යළි කැඳවූ අතර සැකකාර දරුවන් තිදෙනා එම නඩු කටයුත්තෙන් අනතුරුව යළි රැඳවුම් මධ්‍යස්ථානයකට   රැගෙන යමින් තිබූ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෑන් රථය  මග දී නවත්වා  එම දරුවන්ට  බඩු භාණ්ඩ පාර්සල් ලබාදීමට පිරිසක් කටයුතු කළ බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත වීඩියෝ සාක්ෂිද සහිතව ලැබී තිබුණු පැමිණිලලක් මත පදනම්ව මෙම වැඩ තහනම් කිරීම සිදුකර තිබේ.

මෙම භාණ්ඩ ලබා දී ඇත්තේ එම එක් සැකකාර දරුවෙකුගේ මාමා කෙනෙක් බව වාර්තා වේ.


සිද්ධිය නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක  පවසා සිටින්නේ  බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලද වීඩියෝවකට අදාළව එම නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව විනය පරීක්ෂණයකට යටත්ව එම තීරණය ගත් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද චන්දන ඒකනායක   අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු වැඩතහනම් කළ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ –

Exit mobile version