වැලිකඩ බන්ධනාගාරය වෙනත් තැනකට ගෙන ගොස් එම ස්ථානය වාණිජ කටයුත්තකට යෙදුවහොත් විශාල ප්‍රතිලාභයක් ලැබෙනවා – ජනපති

කොළඹ නගරයේ ඇති වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන ගොස් එම ස්ථානය වාණිජ අවස්ථාවක් සඳහා ලබා දුනහොත් මෙරට ආර්ථිකයට සුවිශාල ප්‍රතිලාභය ලැබෙන බවත් එතැන් සිට දුම්රිය මාර්ගය දක්වා තිබෙන ඉඩම විශාල ආයෝජනයක් සඳහා යෙදවිය හැකි බවත් එය ශ්‍රී ලංකා ආර්ථිකයට ඍජුව බලපාන ව්‍යාපෘතියක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

කොළඹ නගරයේ තිබෙන වටිනා ඉඩම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් වන ව්‍යාපෘති සඳහා ලබා දිය යුතු බව තමා විශ්වාස කරන බවත් අඩු හා මධ්‍ය ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති නගරයෙන් පිටත ඉදිකර නගරයේ වටිනා ඉඩම් ආයෝජන සඳහා ලබා දෙනවා නම්, එමඟින් මෙරට ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි බවද ජනාධිපතිවරයා එහිදී තවදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) පෙරවරුවේ කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමිනි.

ජනාධිපතිවරයා මෙසේද කීවේය.


මෙම ආර්ථික කඩා වැටීමට පෙර අපේ රටේ විශාල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වුණ. කොන්ක්‍රීට් මාර්ග ඉදිකිරීම් ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත්. නමුත් පසුගිය කාලයේ ගෙන ගිය අවිධිමත් ක්‍රියාවලිය නිසා රටට ණය අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. කෙසේ වෙතත් ඉදිකිරීම් ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් විය යුතු බව මම විශ්වාස කරනවා. රජය ගෙන යන ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් වීමෙන් පසු ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නැවත අවස්ථාවන් රැසක් නිර්මාණය වනු ඇතියි. මීට පෙර ඉදිකිරීම් ක්ෂේත්‍රය ලබා තිබූ ප්‍රගතිය අපට වේගයෙන් අත්කරගත නොහැකි වුවත්, යම් යහපත් මට්ටමකට ළගාවීමේ හැකියාව තිබෙනවා.
එසේම විදේශ ආයෝජන මෙරටට ගලා ඒමට පටන් ගැනීමත් සමඟ මෙම කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් 2016 වසරේදී තමා එම වගකීම භාරගෙන ඒ වෙනුවෙන් කැප වී කටයුතු කළ බවත් ජනාධිපතිවරයා කීවේය.
දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ න්‍යාය පත්‍රය වේගවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සැසියේ දී මහලේකම්වරයා සියලු සාමාජික රටවල් වෙත දැනුම් දුන්නා. අද යුරෝපයේ විශාල ලැව් ගිනි ඇති වී තිබෙනවා. ඒ නිසා 2050ට පෙර මෙම අරමුණු ජය ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව සොයා බලමින් සිටිනවා. යැයිද කීවේය.

ඒ වගේම අපේ ගෘහ නිර්මාණ ශිල්පීන් දේශගුණික විපර්යාස පිළිබඳ නිර්ණායකවලට ද අනුකූල විය යුතුයි. අනාගත දේශගුණ විපර්යාසවලට ගැළපෙන නිර්මාණ කිරීමට මෙරට ගෘහ නිර්මාණ ශිල්පීන් හැඩ ගැස්විය යුතුයි. ඒ සඳහා නිසි ප්‍රමිතියක් ඇති කිරීමේ වගකීම ඔබට පැවරෙනවා යැයිද කීවේය.

මෙරට ඉදිකිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට ඇතුළත් කළ යුතු අංශ කිහිපයක් ද මේ වන විට හඳුනාගෙන සිටින බවත් මෑත යුගයේදී මෙරට ඉදි කර තිබෙන ඇතැම් ගොඩනැඟිලි වසර 1000ක් 2000ක් පවත්වා ගෙන යෑමට නොහැකි බවත් එබැවින් අතීතයේ මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත්කරගෙන සිටි ප්‍රමිතිය සහ විශිෂ්ටත්වය යළි ගෘහ නිර්මාණ ශිල්පයට එක් කරගත යුතුව තිබෙන බවත් වැඩිදුරටත් කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමෙරිකානු නියෝජ්‍ය තානාපති ඩග්ලස් සොනෙක්, බ්‍රිතාන්‍ය වැඩ බලන මහ කොමසාරිස් ලීසා වොන්ස්ටෝල් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Exit mobile version