වැඩ බලන පොලිස්පති විසිවෙන ලකුණු…

ඊලඟ පොලිස්පති වැඩ තහනම් කළ ලලිත් ජයසිංහ ද?

වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට පොලිස්පති ධුරසේ ස්ථිර වීමේ අවස්ථාව අහිමි වන   ලකුණු  පහළ වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ සී.ඩී වික්‍රමරත්න  සමඟ එකට සේවයට බැඳී වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු යෙදීම ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බවට වූ චෝදනා එල්ල වී වැඩ තහනමට ලක් වූ පොලිස්පති පූජිත් ජයසුන්දර  වැඩ තහනමට ලක් ව සිටිය දී වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම ගිය   අතර ඔහුගේ වැඩ බැලීමට පත් කළ  සී.ඩී. වික්‍රමරත්න  පොලිස්පති ධුරයේ ස්ථාපනය කිරීමට රජය මේ වන තෙක් කටයුතු කර නොමැත. ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම යෝජනා කොට ව්‍යවස්ථාදායක සභාව වෙත යැවිය යුතු නමුත් ඒ සඳහා රජය කල් මරන්නේ ලලිත් ජයසිංහ පොලිස්පති ධුරයේ පත් කිරීමට විය හැකි බවට පොලිස් නිලධරිහු විශ්වාස කරති.
ලලිත් ජයසිංහ  වැඩ තහනමට ලක් වන්නේ යාපනයේ දී  සමූහ දූෂණයට ලක් ව ඝාතනය කෙරුණු විද්‍යා නැමැති දැරියගේ අපරාධයට සම්බන්ධ සැකකරුවකුට පළා යාමට අවස්ථාව හිමි කර දීමේ චෝදනාව මතය. එවකට යාපනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ලලිත් ජයසිංහට 2015 වසරේ පැල්මඩුල්ලේ පැවැති රැළියකට වෙඩි තබා සිදු කළ ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර හිටපු පොදුජන  එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු  මන්ත්‍රී සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි අත්අඩංගුවට ගෙන රැකවරණය ලබා දීම සම්බන්ධයෙන්  චෝදනාවක් ද  පවතී.
ඔහු පසුගියදා දේශපාලන අසාධාරණකම්වලට ලක් වූ පුද්ගලයන්ට සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවට ගොස් තමා යළි සේවයේ පිහිටුවන ලෙස අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර පොලිස් ආරංචි මාර්ග පවසන්නේ බොහෝ දුැරට ඔහු යලි සේවයේ පිහිටුවීමට ඉඩ පවතින බවයි. එසේ වුහොත් ඊළඟ පොලිස්පතිවරයා ලෙස ලලිත් ජයසිංහ පත් කෙරෙනු ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version