ව්‍යාජ ක්‍රෙඩිට් කාර්ඩ් හදා ලක්ෂ ගණන් වංචා කළ හොර චීනෙක් ඇතුළු 04ක් අත්අඩංගුවට

කීර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීන ජාතිකයෙකුගේ මූලිකත්වයෙන් ව්‍යාජ ලෙස සැකසූ කෙඩිට් කාඩ්පත් යොදාගෙන මාර්ගගත ක්‍රමයට භාණ්ඩ මිලදී ගෙන මූල්‍ය වංචා කරන කල්ලියක් ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

චීන ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙකුගෙන් යුතු මෙම කල්ලිය ගල්කිස්ස ටෙම්පල් පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මහනුවර, වරකාපොළ හා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් චීන ජාතිකයාගේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාජ කෙඩිට් කාඩ්පත් සකස් කර ඇති බවත් අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයින් ඔන්ලයින් ක්‍රමවේදය අනුව ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් භාණ්ඩ ඇණවුම් කර පසුව එම ගාස්තු අයකර ගැනීමට යෑමේ දී එම කාඩ්පත්වල මුදල් නොමැති බවට අනාවරණය වීම නිසා භාණ්ඩ සැපයුම් ආයතන විසින් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මේ විමර්ශනය සිදු කර තිබේ.

අදාල විමර්ශනවලදී සැකකරුවන් විසින් ව්‍යාජ කෙඩිට් කාඩ්පත් සකස් කිරීම සඳහා උපයෝගී කරගන්නා අමුද්‍රව්‍ය හා ව්‍යාජ කෙඩිට් කාඩ්පත් 30ක් පමණ සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

අදාළ සැකකරුවන් 04දෙනා ව්‍යාජ ක්‍රෙඩිට් කාර්ඩ් යොදා ගනිමින් දින දෙකක් තුළ දී රුපියල් හත් ලක්ෂ අසූ හත් දහසක මුදලක් වංචාකර ඇතැයි හෙළි වී තිබේ. මෙසේ ලබා ගන්නා භාණ්ඩ යළි අලෙවි කිරීම මෙම පිරිස විසින් කරගෙන ගොස් ඇත.

සැකකරුවන් සිව්දෙනා අද (21) දින ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version