වසර 33ක් තිස්සේ දිරාපත්වන  වැලිකන්දේ   සිපෙටිකෝ ඉන්ධන ගබඩාව….

මනම්පිටිය නිමල් ජයරත්න  –

වසර තිස්තුනකට අධික කාලයක් පොලොන්නරුව වැලිකන්ද නගරයට ආසන්නව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් විශාල ඉන්ධන ගබඩාවක් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව වල්බිහිවී දිරාපත් වෙමින් පවතින බව වාර්තා වේ.

දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කර ගබඩා කළ හැකි මෙම ඉන්ධන ගබඩාවට අයත් විශාල ටැංකි පහක් තිබෙන අතර එක් ටැංකියක ධාරිතාව ඉන්ධන ලීටර් 54,000 කි.

ත්‍රස්තවාදින්ගේ තර්ජනය හමුවේ වසා දැමුණු මෙම ඉන්ධන ගබඩාවෙන්    පොලොන්නරුවට පමණක් නොව අවට දිස්ත්‍රික්ක වලටද ඉන්ධන බෙදාහැරීමේ පහසුකම් පැවති අතීතතයක් තිබුණු බව  දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය  දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

දිඹුලාගල රාහුලාලංකාර හිමි…

තව සති කිහිපයකින් පොළොන්නරු දිස්ත්‍රික් ඇතුළු මහවැලි බී කලාපය මෙන්ම අවට දිස්ත්‍රික්කවල වී අස්වනු නෙලන බැවින් ඒ සඳහා යාන්ත්‍රික උපකරණවලට   අවශ්‍ය ඉන්ධන මෙහි ගබඩා කළ හැකි බවත්, වල් බිහි වී විනාශ වෙමින් පවතින මෙම ඉන්ධන ගබඩාව ප්‍රයෝජනට ගෙන අවශ්‍ය ඉන්ධන ගබඩා කරන්නේ නම් ප්‍රදේශ්යේ ගොවීන්ට මෙන්ම රථවාහන රියදුරන්ට පහසුවක් වනු ඇති බවත් රාහුලාලංකාර නාහිමියන්  පවසති.


මෙම ගබඩා සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර ඉන්ධන ගබඩා කිරීමට ප්‍රයෝජනයට ගන්නේ නම් දැන්ට කොළඹ සිට හෝ කුරුණෑගල සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියෙන්ම මෙම ගබඩාවට ඉන්ධන පිරවිය හැකිව ඇත.

එමෙන්ම දැනට විශාල මුදලක් වැයකර කොළඹ සහ කුරුණෑගල සිට බවුසර් මගින් ඉන්ධන ගෙනවිත් කරන බෙදාහැරීමට වැයවන   ප්‍රවාහන වියදම්ද අඩු කරගත හැකි බවත්  එම ප්‍රවාහන විදයදම් සඳහා ලැබෙන ප්‍රතිලාභය දුම්රිය දෙපාර්තමේන්තුව සතුවන බවත් පෙනී ගොස් ඇත.

දැයට කිරුළ වැඩසටහන යටතේ මෙම ඉන්ධන ගබඩාව ප්‍රතිසංස්කරණය කර ප්‍රයෝජන ලබාගැනීමට එවකට පැවති රජය සැලසුම් කළ ද එය නැවති තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කලක් දිඹුලාගල විවිධසේවා සේවා සමුපකාර සමිතිය මගින් පාලනය කළ මෙම ඉන්ධන ගබඩාව දිරාපත් වීම සම්බන්ධව අප එම සමිතියේ සභාපති උපුල් අලහකෝන්ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම ඉන්ධන ගබඩාව අලුත්වැඩියා කර දෙන්නේ නම් තම සමිතිය මැදිහත්ව ප්‍රදේශයට අවශ්‍ය ඉන්ධන බෙදාහැරීමට වගකීම භාරගන්නා බවය.

 

Exit mobile version