“වරායේ වෘත්තිය සමිති එකමුතුව බිඳලීමට ආණ්ඩුවේ අය ක්‍රියාකරනවා” – වරාය වෘත්තීය සමිති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය සංවර්ධනය ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට එරෙහිව ඒකරාශී වී ඇති වරායේ සියලුම වෘත්තිය සමිති එකමුතුව බිඳලීමේ සහ ඔවුන් භේදභින්න කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ පාර්ශව විසින් ක්‍රියාත්මක කරනු ලබන බව වරාය වෘත්තීය සමිති එකමුතුව චෝදනා කරයි.

එම ව්‍යාපෘතියට එරෙහිව රජය නියෝජනය කරන වෘත්තීය සමිති ඇතුළු සංවිධාන 23ක් ඒකරාශි වී මෙයට එරෙහිව දැඩි විරෝධයක් පළකරන අතර එහි නායකයන් විවිධ විනය පරීක්ෂණවලට ලක්කිරීමේ සහ ඔවුන් අතර බේද ඇති කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ වී ඇතැයි එම වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

පසුගියදා මෙම වෘත්තිය සමිති එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමුවී මෙම ව්‍යාපෘති සිදුවූ කිරීමට තමන් කිසිදු එකගතාවක් හෝ කැමැත්තක් නොදක්වන බව ප්‍රකාශ කළ අතර මේ තත්ත්වය මත ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ යම් අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් එබැවින් වෘත්තීය සමිති නායකයන් විනය පරීක්ෂණවලට ලක් කර හැකි අවස්ථා පිළිබඳව යම් පාර්ශවයක් විසින් මේ වන විට සොයා බලමින් පවතින බව ඔවුහු අනාවරණය කරති.


එසේම මේ වන විටත් වෘත්තීය සමිති මෙහෙයවන්නන් කීප දෙනෙකු විනය පරීක්ෂණවලට ලක්කිරීමට කටයුතු කර ඇති අතර ඊට අමතරව එක් එක් වෘත්තිය සමිති සාමාජිකයන් හා නායකයන් අතර ආරවුල් ඇති කර ඔවුන් භේදභින්න කිරීමේ වෙනත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විටත් ඔවුන්ගේ මෙම ක්‍රියාකාරකම් පිළිබඳව සියලුම වෘත්තීය සමිති නායකයන් ඉතා අවබෝධයෙන් ක්‍රියාත්මක වන බවත් මෙලෙස කටයුතු අවුල් කිරීමට ක්‍රියා කරන පුද්ගලයන් ළඟදීම මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත් ඔවුහු තවදුරටත් සඳහන් කළහ.

Exit mobile version