ලක්ෂ 45ක් වටිනා ජීවී සතුන් තොගයක් තායිලන්තයේ සිට නීති විරෝධීව රට තුළට ගේන්න හැදූ ව්‍යාපාරික යුවලක් රේගු අත් අඩංගුවට…

කීර්ති ප්‍රනාන්දු  –

තායිලන්තේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ජීවී සතුන් 88 දෙනෙකු සමග මෙරට ව්‍යාපාරික යුවළ කටුනායක ගුවන්තොටුපළ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ  .

වයස අවුරුදු 35ත් 37 ත් වියේ පසුවන  මෙම ව්‍යාපාරික යුවළ අවිස්සාවේල්ල පුවක් පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව  ගුවන් තොටුපොළ රේගුව පවසයි .

ඔවුන් දෙදෙනා විසින් මෙසේ රැගෙන විත් ඇති සතුන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 45 කට වඩා වන බවත් රේගුව කියයි  .

මෙම ව්‍යාපාරික යුවළ ඊයේ 25 පස්වරු 4: 35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 405 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති  අතර එහිදී ඔවුන්ගේ ගමන් මලු තුළ සඟවා නීති විරෝධී ලෙස රැගෙන විත් සිටි පණුවන් විශේෂයන්, කටුස්සන්, කැස්බෑවන්  , සැලමැන්ඩා, හැම්ස්ටර්, ඉත්තෑවන් , මීයන්, ලේනුන්, මාළු, ගෙම්බන්, ඉබ්බන් යන ජීවී සතුන් හමුවූ බව රේගු උසස් නිලධාරියකු පැවසීය  .


සැකකාර යුවළ විසින් ඉතා සැලසුම් සහගතව  ප්ලාස්ටික් පෙට්ටි තුළට වාතාශ්‍රය ලැබෙන පරිදි සකසා සතුන් ඒ තුළ දමා තිබූ බවද රේගු නිලධාරීහු  කීහ .

මෙම යුවළ  තායිලන්ත ගුවන්තොටුපලේ රේගු නිලධාරීන්ට හසු නොවී කෙසේ මෙම සතුන් මෙරටට රැගෙන ආවේද යන්න පිළිබඳ  සහ තවත් ප්‍රශ්න කීපයක් පිළිබඳව  සැකකාර යුවළ රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවේ තබාගෙන විමර්ශන ආරම්භ කර ඇතැයිද ගුවන්තොටුපළ රේගුවේ උසස් නිලධාරියෙකු ලංකාසරට පැවසීය  .

සැකකාර යුවළ විසින් රැගෙන ආ එම ජීවී සතුන් මේ වන විට කටුනායක ගුවන්තොටුපළ සත්ව නිරෝධායන ආයතනයට රේගුව මගින් භාරදී ඇත  .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කටුනායක ගුවන්තොටුපල රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නිරෝධායන ආයතනයේ නිලධාරීන් ඇතුළු රේගු  ආදායම් අධීක්ෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව මෙම වැටලීම සිදුකර තිබිණ

Exit mobile version