ලංකාවට කොවිඩ් එන්නත එන්නේ කවදාදැයි WHO කොළඹ කාර්යාලයෙන් ඉඟියක්

මෙරට ජනගහණයෙන් සියයට 20කට එන්නත ලබා දීමේ වැඩසටහන 2021 වසරේ මැද භාගය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලය පවසයි.

ලංකාසර විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් එම කාර්යාලය සඳහන් කළේ ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 190ක් කොවැක්ස් (Covax) පහසුකම සමඟ මේ වනවිට සම්බන්ධ වි ඇති අතර මෙම වැඩසටහන හරහා මුලින්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාධාරණ එන්නත් බෙදා හැරීමේ මගපෙන්වීම් රාමුවට අනුව මෙම එන්නත් බෙදා හැරෙනු ඇති බවය.

මෙම එන්නත්කරණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අදාළ වැඩ කටයුතු සලසන අතරේ එක් එක් රටවල් තම තමන්ගේ රටවල එන්නත් බෙදා හැරීම සඳහා ජාතික සැලසුමක් සකස් කළ යුතු වන අතර ඊට එන්නත් ගෙන්වීම සඳහා මුදල් සොයා ගැනීම, ගබඩා කිරීමේ පහසුකම්, යම් අහිතකර තත්ත්වයක් ඇති වුවහොත් එය නිරීක්ෂණය කිරීමේ සහ සමනය කිරීම ක්‍රමවේද සහ එන්නත් සහ ජනතාව අතර එන්නත්කරණය පිළිබඳව නිසි සන්නිවේදනයක් ඇති කිරීමට අදාල සැලසුම් අන්තර්ගත විය යුතු යයි ද ලෝක සෞඛ්‍ය සංවිධාන ශ්‍රි ලංකා කාර්යාලය පවසයි.


මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මෙතෙක් දැනට ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක භාවිත කෙරෙන එන්නත් නිෂ්පාදනය කරන සමාගම්වල නියෝජිතයන් කිසිවකු මෙම එන්නත් මෙරට භාවිතය සඳහා ලියාපදංචි කිරීමට අදාළ ඉල්ලුම් පත් යොමු කොට නොමැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ ඉදිරිපත් කළහොත් හැකි ඉක්මනින් ඊට අදාළ අනුමැතිය ලබා දීමට ඖෂධ නියාමන අධිකාරිය සූදානමින් සිටින බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version