-
මාසයක් කල් දෙන්නම්. පාර්ලිමේන්තුවෙ වරප්‍රසාදවලට මුවා වෙලා කී කතාව පුලුවන්නම් එළියට ඇවිත් කියන්න… රෝහිනී නලීන්ට අභියෝගකරයි…
පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාදවලට මුවා වී කරන ප්‍රකාශය එළියේ කරන ලෙසත් ඒ සඳහා නලීන් හේවගේ නියෝජ්‍ය ඇමතිවරයාට මාසයක කාලයක් ලබා දෙන බවත් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය අද (25) පාර්ලිමේන්තුවේ දී කීවාය.
ඇය ප්‍රකාශ කළේ විවාදයකට තමන් සූදානම් බවය. අවශ්‍ය නම් දළදා මාළිගාව ඉදිරිපිට හෝ වීර කැප්පෙටිපොල ප්‍රතිමාව අභියස සිට හෝ එම විවාදය කළ හැකි බවකීවාය. ඇය මෙම අභියෝගය කලේ අද පාර්ලිමේන්තුවේ දී 27/8 යටතේ පෞද්ගලික කරුණු පැහැදිලි කරගැනීම සඳහා අවස්ථාවක් ලබා ගනිමිනි.
නලීන් හේවගේ නියෝජ්‍ය ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුව තුළ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය සම්බන්ධ කළ ප්‍රකාශයක් මුල් කරගෙන මෙම පුද්ගලික පැහැදිලි කිරීම ඇය විසින් කරනු ලැබුවාය.
එහිදී රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මෙසේ ද කීවාය.
මාත් එක්ක එකම පාසලේ මාතලේ වේරගම පරාක්‍රම විද්‍යාලයේ එකම ගුරු මණ්ඩලයේ සේවය කළ එක බත් එක බෙදාගෙන කාපු ගරු නියෝජ්‍ය ඇමතිතුමා ඊයේ ඉතාම පට්ටපල් බොරුවක් මගේ පවුල සම්බන්ධ කරගෙන ප්‍රකාශ කරනවා.
පංච ශීලය ගැන අෂ්ඨ ශීලය ගැන දස සීලය ගැන කෝටියක් සංවර සීලය ගැන හොඳට දැනගෙන හිටිය එතුමා පන්සිල් පද පහේ තියන මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදයාමි කියන සිල් පදයේ තේරුම දන්නේ නෑ. මෙතුමා වගේ සිල්වත් විය යුතු ගුරුවරයෙක් ලෙස සේවය කළ කෙනෙක් මේ විදිහේ පට්ටපල් බොරුවක් ප්‍රකාශකීමට පෙළඹෙනවා කියන්නෙ කණගාටුවට කරුණක්.
මම ඔබතුමාට මාසයක් කල් දෙනවා. ඕක ඇවිත් එළිය කියන්න. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වලට මුවා වෙලා මඩ ගහන්න එපා.
මගේ අප්පච්චිගෙ රියදුරා වූ මාතලංලු… මාතලං රියදුරා වෙන්න මගේ අප්පච්චි සක්‍රදෙයියො ද?. 1977 මගේ අප්පච්චි පාර්ලිමේන්තුවට එන්නේ. 1994 වෙනකම් පාර්ලිමේන්තුවේ හිටියා. මේ රටේ මිනිස්සුන්ගේ ආදරය දිනා ගත්තා මිසක එතුමා කවදාවත් පිරිහිච්ච මනුස්සයෙක් නෙමෙයි. ගොවියන්ට විශ්‍රාම වැටුප ගෙනාවේ එතුමා.
නාමල් කරුණාරත්න මහත්තයා. ඔබතුමාට දැන් ගොවි සංවිධාන එකතු කරගන්න පුලුවන් වෙන්නේ මගේ අප්පච්චි කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා විදිහට ගොවි සංවිධාන හදපු නිසා.
ඒ නිසා මම කියනවා ඔබතුමා පෙන්වන්න 1977 ඉඳන් 1994 වෙනකම් මන්ත්‍රි කාර්ය මණ්ඩලයේ හරි ඇමති කාර්ය මණ්ඩලයේ හරි මාතලං කියලා රියදුරෙක් හිටියා කියලා.
මඩ ගහන දේශපාලන අවසන් කරන්න. මොකද මේ රටේ ජනතාව හැට අට ලක්ෂයක් ඡන්දය දීලා මේ පාර්ලිමේන්තුව සුද්ද කරනවා කියලා මල් පැල හිටවනවා කියලා ගෙනාවේ. ඒ නිසා මේ වල් මල් පැලද කියලා අපට හිතෙනවා. පුලුවන්නම් එන්න දළදා හාමුදුරුවො ඉස්සරහට. එන්න වීර කැප්පෙටිපොල පිළිරුව ඉස්සරහට. මගේ අප්පච්චි බැනරයක් ප්‍රදර්ශනය කළයි කියලා 1989 මැතිවරණයේ දී බැනරය දාපු 08 දෙනා ඝාතනය කළයි කියලා ඔබතුමා කියනවා නම් එන්න ඉස්සරහට. එළියට ගිහින් කතා කරන්න.
අනතුරුව මන්ත්‍රීවරිය මෙසේ ද පැවසුවාය.
මේ මිය ගිය කෙනෙක්. මගේ පියාට ඇවිත් මේකට උත්තර දෙන්න බෑ. මම ගැන කතා කරන්න. මගේ පියා ගැන කතා කරනවා නම් ඒකට කරුණු දක්වන්න මට අයිතියක් තියනවා.
මෙතුමා හදන්නේ මේ පාර්ලිමේන්තුවේ දී මෙවැනි ප්‍රකාශ කරලා මා ඇතුළු මේ කණ්ඩායම මහ මගදී මරා දමන තැනට පත් කරන්න. ඒක කරන්න දෙන්න එපා. මේ වල් පැලද මල් පැලද කියලා අහන්න හිතනවා.
නලීන් හේවගේ කියනවා මම නම වෙනස් කරලා තියනවා පත්තරේ දාලා. මට මගේ දෙමව්පියො දුන්න ලස්සන නමක් තියනවා. ඒ නම වෙනස් වුනේ 1994 මැයි 27. මහා ප්‍රසිද්ධියේ. එහෙම නැතිනම් ඒක පත්තරේ දාලා නෙමෙයි. තමන්ගේ පක්ෂයේ ළමාතැනීලත් එක්ක ප්‍රශ්නයක් තියනවා නම් ඒක එහෙම විසඳ ගන්න. වෙන වෙන ළමාතැනීලා එක්ක ප්‍රශ්න තියනවා නම් ඒවත් එහෙම විසඳා ගන්න. අපිව පළිහක් කරගන්න එපා.
ඔබතුමා ගොඩින් එනවා නම් ගොඩින් එන්න. විවාදයකදි කරුණු බිඳනවා නම් එහෙම බිඳන්න.
නලීන් හේවගේ මන්ත්‍රී තුමා… දබර ඇඟිලි දෙක උස්සන්න. එක් ඇඟල්ලක පුරුකක් අඩු වුනේ ඇයි කියලා කියන්න… බැරිනම් මැදවච්චියේ බින්දුසාර මහත්තයගෙන් අහන්න. එතුමා කියයි විස්තරේ.







