රෝහල්වල අර්බුදය විසඳීමේ වගකීම ජනපති ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට පවරයි

රෝහල් මට්ටමෙන් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, සෞඛ්‍ය නිලධාරීන් සෘජුව මැදිහත් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්විෂ මහතා අද (06) උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම ඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙයි.

කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබේ. එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.


ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මීට මාස කිහිපයකට පෙර සිටම සූදානම් කර ඇත. හදිසි ඕනෑම අවස්ථාවක ආසාදිතයන් අපහසුතාවන්ට පත්වීම වැළැක්වීමට එම මධ්‍යස්ථාන සැලසුම් කෙරිණ. එම නිසා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් පළමුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, පසුව රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කර රෝහල් වෙතත් යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් මාධ්‍ය මගින් ජනතාවට නිරන්තරයෙන් ලබාදීම සෞඛ්‍ය විශේෂඥයන්ගේ වගකීම බව ද හෙතෙම සඳහන් කළේය.

දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සැලසීමට ද තීරණය කෙරිණ.

වයස අවුරුදු 18ට වැඩි මෙරට සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මසට පෙර ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර තිබේ. තෙවන මාත්‍රාවක් සඳහා වුවද රජය සූදානම්ය. එහෙත් ජනතාවගෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට ලබාදෙන සහාය අවම වීම කණගාටුදායක බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version