රූපවාහිනි තිරේ සුව විරුවෝ මහ පාරේ අසරණ වෙති

ජීවිත අවදානමත් නොතකා ආසන 52 බස් රථයට සුව සේවකයන් 97 ක් පටවලා

සුව සේවා විරුවන් ලෙස රූපවාහිනී තිර මත ඇගයෙන සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය  අද උදෑසන අතිශය අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දුන්හ. ඇඳිරිනීතිය   ක්‍රියාත්මක වූ අද (17 )   පෙරවරුවේ කෑගල්ලේ සිට මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රමාණවත් බස් රථ සපයා නොතිබුණු අතර ආසන 50ක්සහිත ලංගම බස් රථයක කාර්ය මණ්ඩල සාමාජිකයන් 97 දෙනකුට ගමන් කිරීමට සිදුව ඇත.  මගී ප්‍රවාහන බස් රථවල ආසන ප්‍රමාණයට පමණක් මගීන් ප්‍රවාහනය කරන ලෙස උපදෙස් ලබාදී තිබියදී එම උපදෙස් නොපිළිගනිමින් කෑගල්ල සිට මහනුවර දක්වා ගමන් කළ බස් රථයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් තම දැඩි විරෝධය දක්වා මේ පිළිබඳව පැමිණිලි කිරීමට බස් රථය පේරාදෙණිය පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

වෛද්‍යවරු, හෙද නිලධාරීන් රසායනාගාර ශිල්පීන් ඇතුළු සෑම තරාතිරමකම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙම බස් රථයේ ගමන් කොට තිබේ. ඔවුන්  පේරාදෙණිය පොලීසියට බස් රථය යොමු කිරීමෙන් පසු මගීන් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මෙලෙස බස් රථවල ගමන් කිරීමෙන් තම ජීවිත දැඩි අවදානමකට ලක්වන බවයි.

මගීන් 30 දෙනෙකු පමණ සිටියදී කෑගල්ලෙන් ගමන් ආරම්භ කළ බස් රථයට අතර මඟදී විශාල වශයෙන් මගීන් ගොඩවී ඇත. පිළිමතලාවට පැමිණෙන විට එහි 97 දෙනෙකු සිටි බව මගීහු පවසති.


මේ සම්බන්ධ ව මහනුවර හා පේරාදෙණිය රෝහල්වල අධ්‍යක්ෂවරුන් හා ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුම්වත් කිරීමට පියවර ගත්බව පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන බස්නායක මහතා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර මහනුවර ජාතික රෝහලේ අද සවස් වරුවේද සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සේවය නිම වී ආපසු යාමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොතිබීම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත් වූ බව මහනුවර ජාතික රෝහලේ ආරංචි මාර්ග ලංකාසර ට පැවසීය.

 

 

 

Exit mobile version