රුසියානු කොවිඩ් එන්නත ගැන ලංකාව අසයි

Russia claims success rate is 91.4 percent

සායනික අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණය මත පදනම්ව, ස්පුට්නික් V එන්නතෙහි කාර්යක්ෂමතාව 91.4% කට වඩා ඉහළ බව තහවුරු කොට ඇති බව රුසියානු ගමලෙයා පර්යේෂණ ආයතනය අවධාරණය කර තිබේ.

ස්පුට්නික්-V එන්නත ලොව ලියාපදිංචි කළ පළමු කොවිඩ්-19 එන්නත වන අතර, එය දැනට එහි තුන්වැනි සායනික අත්හදා බැලීම්වල අවසාන අදියරෙහි පවතී.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනය අතර ඉකුත් 29 දා පැවැති අන්තර්ජාල රැස්වීමකදී මේ බව තහවුරු කර තිබේ. මෙම රැස්වීම සඳහා රුසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයා තිබිණ.


ලොව වටා කොවිඩ්-19 එන්නත් පිළිබඳ අවසාන අත්හදා බැලීම්, පර්යේෂණ හා ලියාපදිංචි කිරීම් පවතින අතරතුර දී, වයිරස විද්‍යාව පිළිබඳ ශ්‍රී ලාංකික සහ රුසියානු විශේෂඥයින් මෙන්ම ඉහළ පරිපාලකයින් ද මෙලෙස රැස්වී රුසියානු ගමලේයා පර්යේෂණ ආයතනය විසින් සංවර්ධනය කරන ලද ස්පුට්නික්-V එන්නත පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම එන්නත නිෂ්පාදනය සඳහා භාවිතා කරන තාක්‍ෂණය, එහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව, සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල සහ අනුමත කිරීම්වල තත්ත්වය පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

වෛරසයේ වෙනස්වීම් පිළිබඳව ශ්‍රී ලංකාවේ දී කරන ලද පර්යේෂණ සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය රුසියානු විශේෂඥයින් දැනුවත් කළේය.

අවශ්‍ය සියලු විද්‍යාත්මක දත්ත ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගැනීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා පාර්ශ්වයට පූර්ණ තොරතුරු පරාසයක් ලැබෙන බවට සහතික කිරීම සඳහා වැඩිදුර සාකච්ඡා මාලාවක් පැවැත්වීමට සූදානම් බවත් රුසියානු පාර්ශ්වය ඔවුන්ගේ වාරයේ දී සහතික විය.

මෙම වසංගතය හමුවේ ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගීතාවයේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර, දෙරටේ සෞඛ්‍යය හා සම්බන්ධ ආයතන අතර සබඳතා පුළුල් කිරීමට එකඟ විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා, වෛද්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, අතිරේක ලේකම් වෛද්‍ය එල්. සෝමතුංග මහතා, වසංගත රෝග විද්‍යාඥයින්, ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්, එන්නත් පිළිබඳ විද්‍යාඥයින්, වෛරස් විද්‍යාඥයින්, ප්‍රතිශක්ති විද්‍යාඥයින් සහ වෙනත් විශේෂඥයින් විසින් නියෝජනය කරන ලදී.

රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයින් ලෙස, ජාත්‍යන්තර සහයෝගීතා හා මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සර්ජි මුරවියොව් මහතා, රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක සර්ජි ග්ලැගොලෙව් මහතා සහ තවත් අය මෙම රැස්වීමට සහභාගී වූහ.

වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් මහතා, විද්‍යාත්මක සහකාර දාර්යා යෙගොරෝවා මහත්මිය සහ තවත් අය විසින් එම ආයතනය නියෝජනය කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මැතිතුමා මෙම රැස්වීමේ මුලසුන හෙබවූ අතර, තානාපති කාර්යාලයේ අනෙකුත් කාර්යය මණ්ඩල සාමාජිකයින් ද එතුමා සමඟ එක්විය.

Exit mobile version