රුපියල් කෝටි 10 පැන්න නුවර  සෞඛ්‍ය සේවක  වැටුප් වංචාවේ චූදිතයන් 03ක්   රිමාන්ඩ්

මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවූ බව කියන රුපියල් කෝටි දහයකට  ආසන්න  මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ‍සැකපිට අත්අඩංගුවට ගත් එම කර්යාලයේ ගිණුම් අංශයේ සේවිකාවන් දෙදෙනා සහ එක් සැකකාරියකගේ ස්වාමිපුරුෂයකු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට  අද  (12) ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙම මස 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් දුමින්ද පී මුදුන්කොටුව   නියෝග   කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් මොවුන් තිදෙනාව පෙරේදා (11) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නිරෝෂා මැදිවක ,සජීවනී ජයරත්න හා එස්.ඊරියගොල්ල නැමැති තිදෙනාය.


සංවර්ධන නිලධාරීන් ලෙස ගිණුම් අංශයේ සේවය කර තිබෙන මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු වංචා සහගත ලෙස ලබාගත් මුදල් ඇගේ සැමියාගේ ගිණුමට බැරකර තිබෙන බව පරික්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙම මූල්‍ය වංචාව මෙයට මසකට පමණ ඉහතදී අනාවරණය වීමෙන් පසු ඊට සම්බන්ධ බවට සැකකළ සේවිකාවන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන තිබිණි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට වැටුප් ගෙවීමේදී සැකකාර සේවිකාවන් දෙදෙනා වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් සකස් කළ බැංකු ගිණුම් කිහිපයකට වසර තුනක පමණ කාලයක් තිස්සේ මුදල් බැරකර තිබෙන බව අනාවරණය විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිදුවීමට තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සහය ලැබී ඇති බවට තොරතුරු හෙළිව තිබේ. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

Exit mobile version