රාජ්‍ය තාන්ත්‍රික රීතී ඉවරයි… ඇමතිවරු 02 තම ලේකම්වරු සමග අද චීන තානාපති පාමුලට යයි…  

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මෙතෙක් පවත්වාගෙන පැමිණි ගෞරවණීය රිතියක් බිඳ හෙළමින්  කැබිනට් ඇමති ධූරයක් දරන රටේ කෘෂිකර්ම ඇමතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ,  කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ යන අමාත්‍යවරුන් දෙපළ  කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්  මහාචාර්ය උදිත් කේ ජයසිංහ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය අජන්ත ද සිල්වාත් රැගෙන අද (25) හවස චීන තානාපති  කී සෙන්හොංග් හමුවීමට ගොස් ඇති බව වාර්තා වේ.

මෙතෙක් පැවති ගෞරවනීය රාජ්‍ය තාන්ත්‍රික රීතිය වී තිබුණේ තානාපතිවරයා පැමිණ ඇමතිවරයා හෝ ලේකම්වරයා මුණගැසීමය.

එම රීතිය බිඳ දමා කෘෂිකර්ම ඇමතිවරයා සහ රාජ්‍ය ඇමතිවරයා ස්වකීය ලේකම්වරු සහ මේ ව්‍යසනයේ දී  රට වෙනුවෙන් ඍජු තීරණය ගත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ද කැටිව ගොස් සාකච්ඡා කර ඇත්තේ දෙරටටම පිළිගත හැකි පර්යේෂණාගාරයක දී නැවත මෙම සාම්පල පරීක්ෂා කර පොහොර තොගය ලංකාවට ගොඩබාගන්නා ආකාරය ගැනය.


ශ්‍රී ලංකා රජයෙන් කළ ප්‍රතික්ෂේ කිරීම නොසලකා   ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවීන් සහිත පොහොර තොගය රැගෙන බහලත්කාරයෙන් පැමිණ නෞකාව ශ්‍රී ලංකාවේ කිසිම වරායකට ඇතුළත් කර නොගන්නා ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රධාන නෞකාධිපතිවරයා වෙත කරන ලද දැන්වීමෙන් අනතුරුව චීන තානාපතිවරයා අද අගමැතිවරයා හමුවීමට සූදානමක් ඇති බව   ආරංචි මාර්ග  වාර්තා කළේය.

ඒ හමුව වෙනුවට මෙම ඇමතිවරු දෙදෙනා  ගෞරවනීය රීති බිඳ දමා   චීන තානාපතිවරයා හමු වීමට  ගොස් තිබිණි.

ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත මෙම  පොහොර තොගය රැගෙන ලංකාවට පැමිණි   Hippo Spirit නෞකාව දැනට කොළඹ වරායට නාවික සැතපුම් 12ක් දුරින් දකුණු මුහුදේ නවත්වා තබාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ හෝ මේ පොහොර තොගය කොළඹ වරායට බා ගැනීම සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේ හමුවෙන් පසු සංවිධානය වන බවත්     තවමත් ඉතිරි වී ඇති එකම බලාපොරොත්තුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මත කේන්ද්‍ර වී ඇති  බවත් තතු දත් ආරංචි මාර්ග හෙළි කරයි.

Exit mobile version