“රාජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වුනත් අපරාධ චෝදනාව එහෙමමයි”- එජාප මහලේකම්

බන්ධනාගාරයකට කඩා වැදී රැඳවියන්ගේ හිසට පිස්තෝල තබා බිය ගන්වමින් අපරාධ වරදක් කළ රාජ්‍ය ඇමතිවරයා තනතුරෙන් ඉවත් කළාට ඔහුට එල්ල වූ අපරාධ චෝදනාවෙන් නිදහස් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්‍ෂ මහා ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පැවැසීය.

රාජපක්‍ෂ නීතිය යටතේ වරද වසන් නොකර රට මානව හිමිකම් අර්බුද වලට පවා ඇද දමන මෙවැනි බරපතල සිද්ධි ගැන වහා ස්වාධීන විමර්ශනයක් කළ යුතු බවද එජාප මහලේකම්වරයා සඳහන් කළේය. වීඩියෝ තාක්ෂණ ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් මහලේකම් වරයා මෙසේද කීය.

රටක ආරක්ෂක අංශ මෙන්ම බන්ධනාගාර තිබෙන්නේ ජනතාව ආරක්ෂා කිරීම සඳහාය.ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා සැක කරුවන්ද ආරක්ෂිතව රඳවා තබන්නේ බන්ධනාගාර වලයි. රැඳවියන් ගේ ආරක්ෂාව හා සුබ සාධනය, බලා ගැනීම, බන්ධනාගාර වල වගකීමක් වෙනවා. නමුත් මේ ආණ්ඩුවේ බන්ධනාගාර බාර රාජ්‍ය ඇමති රැඳවියන් එලියට ගෙන හිසට පිස්තෝල තබන තැනට පත් වෙලා. තර්ජනය කලත් නොකලත් පිස්තෝලයක් හිසට එල්ල කිරීමම බිය ගැන්වීමකි. මෙය ලංකා දන්ඩ නීති සංග්‍රහය අනුවත් අපරාධමය වරදකි.
මෙවැනි සිද්ධියකට වගකිව යුතු රාජ්‍ය ඇමති වරයෙක් තනතුරෙන් ඉවත් කිරීමෙන් ඔහුට එල්ල වන අපරාධ චෝදනාවෙන් නිවැරදි වන්නේ නැත.
බන්ධනාගාර අධිකාරීවරයා සහ පොලිසිය එක්ව මේ සිද්ධිය පිලිබඳ නිසි විමර්ශනයක් කළ යුතු වේ. එම සිද්ධියට මුහුණ පෑ සිරකරුවන්ට වූ පීඩනය සම්බන්ධව පීඩනය එල්ල කළ තැනැත්තාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතුය. එසේ නොමැතිව රාජපක්‍ෂ නීතිය යටතේ වැරදි වසන් කිරීමට කටයුතු කිරීම නොකළ යුතුය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටට විරුද්ධව මානව හිමිකම් ප්‍රශ්න දිගින් දිගටම ඇති වන කාල වකවානුවක එම චෝදනාවන් සනාථ කිරීම සඳහා ආණ්ඩුවේ ඇමතිවරුන් කටයුතු කිරීම නිසා පීඩාවට පත් වන්නේ මේ රටේ මුළු මහත් ජනතාවයි. ආණ්ඩුවේ ඇමති වරුන්ගේ අත්තනෝමතික නොහික්මුණු ගති නිසා ජනතාව පීඩාවට පත් වීමට ඉඩ නොතැබිය යුතුය.

Exit mobile version