රාජ්‍ය සේවය තුළ දේශපාලන අධිකාරිය වශයෙන් කිසිඳු අත පෙවීමක් සිදු නොකරන බවත්, රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව සළසා දී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රි ලංකා පරිපාලන සංගමයේ නිලධාරීන්ට පැවසුවේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මේ බව පැවසූ ජනාධිපතිවරයා රජයේ පරමාර්ථය සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන ආකාරය අතර යම් පරතරයක් තිබෙන බවත්, රට සංවර්ධනය කරා ගෙන යන රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට නම් රාජ්‍ය පරිපාලනය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බවත් පෙන්වා දුන්නේය.
රජයේ එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අත්‍යවශ්‍ය බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක , රාජ්‍ය නිලධාරින් සතු අත්දැකීම් ඊට මනා පිටිවහලක් වන බව ද පැවසීය. ජනතා සේවාවන් කප්පාදු කිරීමකින් තොරව රාජ්‍ය සේවය සඳහා කරන අනවශ්‍ය වියදම් අවම කර ගත යුතු බවද මේ අවස්ථාවේ දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රටේ වංචා දූෂණ නතර කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන බවත්, වංචා සහ දූෂණ හේතුවෙන් රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අවසන් කිරීමට නොහැකි වී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල, ලේකම් ජයවීර ප්‍රනාන්දු ඇතුළු කමිටු සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







