රනිල් වික්‍රමසිංහ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි….

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ස්වල්ප වෙලාවකට පෙර දිවුරුම් දුන්නේය. ඔහු විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂ නිසා පුරප්පාඩුවට පත් විධායක ජනාධිපති ධුරය සඳහා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව තුළ පැවති ජනාධිපතිවරණ ඡන්දයෙන් ජය ගනිමිනි. ඔහු ඡන්ද 134ක් ලබා ගත්තේය.

දේශපාලන පවුලක දරුවෙකු ලෙස උපත ලැබූ රනිල් වික්‍රමසිංහ, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පතාක යෝධයෙකු වූ ඩී ආර් විජේවර්ධන මහතාගේ දියණිය වන නාලනී වික්‍රමසිංහ හා එස්මන් වික්‍රමසිංහ ගේ දෙවැනි දරුවා ලෙසින් 1949 මාර්තු 24 දින උපත ලැබීය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු විය.

1970 දී විශ්ව විද්‍යාල ජීවිතය අවසන් වීමත් සමඟ දේශපාලනයට පිවිසෙන ඔහුට ජේ ආර් ජයවර්ධන 1977 දී ඔහුට බියගම ආසනයේ  ප්‍රධාන සංවිධායක ධුරය ලබා දුන්නේය. ඉන් ජය ලබා පාර්ලිමේන්තුවට ඇතුළු    ඔහු ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා ලෙසින් තරුණ කටයුතු හා රැකි රක්ෂා අමාත්‍යවරයා ලෙස  වූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ දිවුරුම් දුන්නේය.  එවකට ඔහුට වයස අවුරුදු 27කි.


අධ්‍යාපන ඇමතිවරයා හැටියට 1980 දී පත්වුණ ඔහු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේදී එනම් 1989 දී කර්මාන්ත අමාත්‍යවරයා බවට පත් විය.

විවිධ අමාත්‍යධුර දරමින් කටයුතු කළ ඔහු පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස ද පත් වී සිටියේය. 1993 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මරණයෙන් පසු එවකට අගමැති වූ ඩී බී විජේතුංග ජනාධිපති වූ අතර රනිල් වික්‍රමසිංහ පළමු වරට අගමැති ලෙසට පත් විය.

2001 වසරේ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ රජයේදී අග්‍රමාත්‍ය ලෙස පත් වූ අතර තෙවැනි වරට 2015 මහ මැතිවරණයෙන් යළි අගමැති වූයේය.

4 වෙනි වරට 2015 අගෝස්තු මාසයේදී පැවති මහ මැතිවරණයෙන් ද යළි පත් විණි. දින 52 වැඩසටහනේ කුමන්ත්‍රණයෙන් පසු 2018 යළි අගමැති වූ අතර 6 වැනි වතාවට පසුගිය දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා ගිය පසු ඔහු වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


8වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන විට ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේ මහ මැතිවරණයෙන් පැරදී එක්සත් ජාතික පක්ෂය සතු එකම ජාතික ලයිස්තු ආසනය වෙනුවෙනි.

Exit mobile version