රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!

නිශ්චිත පුද්ගලයෙක්  පන්වන්න, ජනපති වීම වළක්වන්න  ලෝකෙ මොන රටකවත් ව්‍යවස්ථා සංශෝධන  කරන්නෙ නෑ...

Sagara-Kariyawasam

සාගර කාරියවසම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ  ආර්ථික අර්බුදය විසඳිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ   ප්‍රකාශ කරයි.

The Morning පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටින්නේ  පාර්ලිමේන්තුවට ඇතුළුවීමට හෝ ජනාධිපති වීමට ඉඩ නොදීම සඳහා  නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙවැනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙටුම්පත් නොකළ යුතු බවයි.

21 වැනි සංශෝධනයට සහය දැක්වීමට පෙර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  යෝජිත ප්‍රතිසංස්කරණ අධ්‍යයනය කර විශ්ලේෂණය කළ යුතුව ඇති බව ඔහු එහිදී පැවසීය.

රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව රජයක් පිහිටුවීමට   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ   වෙත සිය සහය ලබාදුන් බව ප්‍රකාශ කළ ඔහු කියා සිටියේ ආර්ථික අර්බුදය තවමත් පවතින බවයි.


“පළමුව ආර්ථික අර්බුදය විසඳා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නිදහසේ පාරේ ගමන් කිරීමට සහ සිතීමට මානසික නිදහස ඇති පරිසරයක් නිර්මාණය කරන්න. එවිට අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡා කළ හැකියි,” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

21 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය තීරණය වන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීම හෝ රජයේ නිලතල දැරීම වළක්වන ප්‍රතිපාදන මතද යන්න පිළිබඳව කළ විමසීමකදී කාරියවසම් මන්ත්‍රීවරයා කියා සිටියේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිශ්චිත පුද්ගලයකු ඉලක්ක කර නිර්මාණය නොකළ යුතු බවය.

“ලෝකයේ  කිසිම රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නේ නෑ කවුරුහරි පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න, එලවන්න, එහෙම නැත්නම් කෙනෙක් ජනාධිපති වෙන එක වළක්වන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කර තිබෙන්නේ රටේ අවශ්‍යතා අනුවයි,” ඔහු පැවසීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීමටත් රාජ්‍ය නිලතල දැරීමටත් ඉඩ සලසන අතර, එය 2021 දී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට මග  පෑදුවේය.    යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙම වගන්තිය ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ කමිටුවක් මගිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් 21 වැනි සංශෝධනයේ මූලාරම්භය සහ එය විදේශ බලවේගයේ න්‍යාය පත්‍රයකට සේවය කරන්නේද යන්න පිළිබඳව සැක පහළ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව තහවුරු කිරීම නොකළ   මන්ත්‍රීවරයා, “අපි 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවසානයේ සහාය නොදක්වන බව  කියන්නෙ නෑ. අපට පළමුව අවශ්‍ය වන්නේ රට  වෙනුවෙන් නිවැරදි දේ කිරීමට   සාකච්ඡා කළ හැකි සුදුසු පරිසරයක්.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳුදා (23) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය ඊයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් වෙත යවා ඇත.

Exit mobile version