රටේ විදේශ ණය ඩොලර් බිලියන 47යි… තෙල් ගෑස් ගොඩදැම්මොත් ආදායම ඩොලර් බිලියන 117යි…

ණය උගුලෙන් ගැලවෙන්නට එකම විකල්පය මෙයයි.. 2050ට පෙර ගොඩ දමා විකුණා ගත යුතුයි.... බලශක්ති ඇමති කියයි..

තෙල් ගවේෂණය සඳහා යොදවා ඇති ගුවන් යානය

ශ්‍රී ලංකාව මේ මුහුණ දී ඇති විදෙස් ණය උගුලෙන් ගැලවීමට ඇත්තේ එකම එක මාර්ගයක් පමණක් බවත් ඒ මන්නාරම් ද්‍රොණියේ ඛණිජ තෙල් සහ ගෑස් සම්පත්  මතු කර ගැනීම බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල   ප්‍රකාශ කළේය.

මන්නාරම් ද්‍රොණියේ තෙල් සහ ගෑස් සම්පත විකුණා ලබා ගත හැකි මුදල ඩොලර් බිලියන 117ක් බවට ඇස්තමේන්තු කරන ඇමතිවරයා ලංකාව මෙතෙක් විදේශයන්ට ණය වී ඇති සමස්ථය ඩොලර් බිලිය 47ක්  බව පෙන්වා දුන්නේය.

විදේශ ණය ප්‍රමාණය මෙන් තුන් ගුණයක මිලක් මේ ආයෝජනයෙන් ලැබෙන බවත් 2050 -60 වනවිට ඛණිජ තෙල් භාවිතය ලෝකයෙන් තුරන් වන බැවින් ඊට පෙර මෙම සම්පත ගොඩදාගෙන විකුණා ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.


අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කටුනායක ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ මැදිරියේ ඊයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

ඔහු එහිදී මෙසේ ද පැවසීය.

“මන්නාරම් ද්‍රොණියේ  පමණක් බොරතෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක් තියනවා. එක ගණ අඩියක් ඩොලර් ශත 13යි කියලා ගත්තොත් අපට තියනවා ඩොලර් බිලියන 117ක්. මේ බොරතෙල් හා ගෑස්වල වටිනාකම එකතු කළාම ඩොලර් බිලියන 167යි.   ආණ්ඩුව සහ ආණ්ඩුවේ සියලුම ආයතන එක්ව ගත්තු විදේශ ණය තියෙන්නෙ ඩොලර් බිලියන 47යි.  ඒ වගේ තුන් ගුණයක වටිනාකමක් මන්නාරම්  ද්‍රෝණියේ තෙල් සහ ගෑස් විකිණීමෙන් ලබා ගන්න හැකියාව තියනවා. “

‘මන්නාරමේ එම්2 කියන කොටසේ දැනට ලිං හාරලා ගෑස් හා තෙල් තියන බවට හඳුනාගෙන තියනවා.  ලෝකයේ දැවැන්ත තෙල් සමාගම් මේ කෙරෙහි ඉහළ උනන්දුවක් දක්වනවා. “

තෙල් සහ ගෑස් පවතින බවට හඳුනාගෙන ඇති කලාපය

“මේ තෙල් ගවේෂණ කාර්යයේ දී ඩොලර් බිලිය ගණනක ආයෝජනයක් කරන්න වෙනවා. එක් කොටසක ගවේෂණය කරන්න. ඒ නිසා අපට විදේශීය ආයෝජකයන් මත රැදෙන්න වෙනවා මේ කටයුත්තේ දි.“

“මතුපිට සිට කිලෝ මීටර එක හමාරක් ගියාම මුහුදු පත්ල හම්බ වෙනවා. මුහුදු පත්ලේ සිට කිලෝ මීටර දෙකක් පමණ යට තමයි දැනට හඳුනාගෙන ඇති ගෑස් නිධි තියෙන්නෙ. “

“එම්2 කියන බිම් කැබැල්ලෙ ගෑස් තියන තැන තෙල් තියන තැන නිශ්චිතව හඳුනාගෙන තිබෙන්නෙ. ආයෝජකයා ලංකාවට ඇවිත් වසර 3ක් ඇතුළත තෙල් සහ ගෑස් ගොඩ ගන්න හැකියාව තිබෙනවා.“

2050 සහ 2060 අතර ලෝකය තෙල් භාවිතයෙන් ඈත් වීමට නියමිතයි.  මේ තියන දෙයක් 2050 කලින් ගොඩ අරන් භාවිත කරලා ඉවර වෙන්න ඕන.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය පිණිස ප්‍රථමවරට ගුවන්යානා උපයෝගි කොට ගනිමින් ගුරුත්වාකර්ෂණ හා චුම්භක ක්ෂේත්‍ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය  එක්සත් රාජධානිය මූලස්ථානය කොට ගත් ලෝක ප්‍රකට  භෞතික සමීක්ෂණ සමාගමක් වන බෙල් ජියෝස්පේස් (Bell Geospace) පෞද්ගලික සමාගම සමග ආරම්භ කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කීවේය.

Exit mobile version