රංගා යළි රිමාන්ඩ් වෙයි…

ranga

දිනසේන රතුගමගේ –

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාධ්‍යවේදී ශ්‍රී රංගා විසින්  රියඅනතුරක් සිදුකොට සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා එම නඩු විභාගයේ සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීම යන චෝදනා මත දැනට රිමාන්ඩ්  බාරයේ සිටින   හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා   ලබන නොවැම්බර් 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වව්නියාව මහාධිකරණ   විනිසුරු මාණික්කවාසම් ඉලංචේලියන් ඊයේ (09) නියෝග කළේය. .

2011 වසරේ මාර්තු 30 වැනි දින සැකකාර මන්ත්‍රීවරයා මැදවච්චිය සිට සෙට්ටිකුලම ප්‍රදේශයට ලියාපදිංචි නොකළ ජිප් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවක සෙට්ටිකුලම රෝහල ඉදිරිපිට රිය අනතුර සිදුව ඇති අතර එහිදී අලව්ව, නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන් (36759) ජී.උදය ජයමිණි පුෂ්පකුමාර  මියගියේය.

සාවද්‍ය තොරතුරු වාර්තා කරමින් සැරයන්වරයා රිය පදවා ජීවිතක්ෂයට පත්වූ බවට පවසා එවකට රාජකාරී කළ පොලිස් නිලධාරීන් හා එක්ව විමර්ශන අවසන් කොට ඇති බවට අධිකරණයේදී ප්‍රකාශ විය.

එම අනතුර සම්බන්ධයෙන් මියගිය සැරයන්වරයාගේ බිරිය සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවැත්වූ විමර්ශනයකදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා විසින්  රිය පදවා අනතුර සිදුකොට ඇති බවට අනාවරණයවූ අතර අධිචෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින්  වවුනියාව මහධිකරණයේ නඩුපවරා තිබිණි.


අදාල නඩු විභාගයේදී සාක්ෂි ලබාදුන් දෙදෙනකු හට දුරකථනයෙන් බලපෑම් කරමින් අනතුරව එම සාක්ෂිකරුවන් වෑන් රථයක නංවාගෙන වෙනත් ස්ථානයකට ගොස් සාක්ෂි ලබා නොදෙන ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විත්තිකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේද පසුගිය මාර්තු 28 වැනිදා නඩුපවරනු ලැබීය.

තොරතුරු වසන්කිරීම ඇතුළු චෝදනා ලබාසිටි එවකට හිටපු සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව  අධිකරණයේ පෙනී සිටිමින් සියලු චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව අධිකරණයට ප්‍රකාශ කළේය.  ඉදිරිපත්වූ කරුණු සලකා බලමින් විනිසුරුවරයා  සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව නැමැත්තා හට අත්හිටවූ සිරදඩුවම් හා දඩ නියම කළේය.

හිටපු වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී අමරසිරි සේනාරත්න (විශ්‍රාමික නියෝජ්ය පොලිස්පති) ,වවුනියාව හිටපු සහකාර පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාර (විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී), සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන් ප්‍රියදර්ශන හේරත්, පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.ජි.පද්මපාල යන නිලධාරීන් මෙම නඩුවිභාගයේ අධිචෝදනා ලැබූ අනෙක් නිලධාරීන් වේ.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥය ධම්මික උඩවත්ත මහතා සහ පොලිස් විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් ඉදිරිපත්ව සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නඩු විභාගය ලබන නොවැම්බර් 6 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Exit mobile version