යුද හමුදා සෙබලුන්ගේ ආහාර සලාකයත් කප්පාදුවේ…

යුද හමුදා සෙබලුන්ට ලබා දෙන ආහාර සලාකයේ ගුණාත්මක බව බරපතල ලෙස බිඳ වැටෙමින ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල කාර්යයක් ඉටු කිරීම සඳහා යොදවා ඇති සෙබලුන්ට ලබා දෙන මේ ආහාර මිරිස් තුනපහවලින් තොරව දියෙන් තම්බා ලුණු දමා දෙන තත්වයට පත් කිරීම නිසා ලබා දෙන ආහාර වේල “කන්නට බැරි “ තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ආහාරවේල් සඳහා නිකුත්කරන තුනපහ ප්‍රමාණය අඩු කිරීම, ව්‍යංජන ප්‍රමාණය අඩු කිරීම, ආහාර වේලක් සදහා සතියකට දින තුනක් ලබා දුන් කුකුළුමස් වෙනුවට සෝයා මීට් හෝ හාල්මැස්සන් ලබා දී මසකට දෙවරක් හෝ තුන් වරක් පමණක් කුකුළුමස් ලබා දීම, බොහෝ ආහාර වර්ග සඳහා ආදේශක ලබා දීමට කටයුතු කිරීම සිදුවෙමින් ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ලබා දෙන කිරි තේ වීදුරුව සඳහා නිකුත් කර ඇති කිරිපිටිත් කප්පාදු කර ඇතැයි වාර්තා වේ.

සෙබල සුබ සාධනය ගැන විමසීමේ දී පසුගිය වකවානුව පුරාම ප්‍රධාන ආහාර සලාකයේ ආහාර ද්‍රව්‍ය වෙනුවට ආදේශක ලැබී තිබුණු බවත් ලබා දුන් කුළු බඩු ප්‍රමාණයේ විශාල අඩුවක් පැවති බවත් හමුදාපතිවරයාගේ නියෝගය මත කළ අභ්‍යන්තර විමර්ශනයක දී හෙළි වී තිබේ.

මේ වනවිට ක්ෂේත්‍රයේ විවිධ දුෂ්කර රාජකාරිවල යොදවා ඇති හමුදා සෙබලුන් වෙත ඔවුන්ට හිමි ආහාර සලාකය ලබා දීම හා ඔවුන්ගේ නිවාඩු ගැන සැලකිලිමත් වීම හමුදා සෙබලුන්ගේ සුබ සාධනයේ ප්‍රධානම අංශ දෙක බව හමුදා ආරංචි මාර්ග පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආහාර කළමනාකරණය සිදුකරන අංශ පිළිබඳ ගැටලුවක් ඇති බවත් උදාහරණයක් ලෙස කුළුබඩු හිඟ අවස්ථාවක දී වෙළෙඳපලෙන් වැඩි මිලට හෝ මිලදී ගෙන ඒවා සැපයීමේ වගකීම සැපයුම්කරුවන් වෙත පැවරෙන බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.

මේ පිළිබඳව කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පැවසුවේ පසුගිය වකවානුව තුළ හමුදාවට ආහාරද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන්ගෙන් අවශ්‍ය ප්‍රමාණවලට සැපයුම් නොලැබුණු බවය. මේ ප්‍රායෝගික ගැටලුව මීට සතියකට පෙර සියලුම ප්‍රධාන සැපයුම්කරුවන් ගෙන්වා විසඳීමට කටයුතු කර ඇති බවය.

ඉදිරියේ දී මේ තත්වය ඇති නොවනු ඇතැයි ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Exit mobile version