යුද්දෙ කාලේ සම්බන්ධන් මානව හිමිකම් කැඩුවා!

ආනන්ද සංගරීගෙන් චෝදනාවක්

දිනසේන රතුගමගේ

යුද්ධයේ අවසන් දින කීපයේදී රජයෙන් මානව හිමිකම් උල්ලංඝණය වූ බව කියමින් ජිනීවා මානව හිමිකම් කමිටුව පරීක්ෂණ පවත්වන්නේ නම් එම කමිටුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් පිළිබඳවත් පරීක්ෂණ පැවැත්විය යුතු බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

යාපනයේ සිට නිවේදනයක් නිකුත් කොට ඇති සංගරී හිටපු මන්ත්‍රීවරයා කියා සිටින්නේ යුද්ධයේ අවසන් දින කීපය තුළ කොටි නායකයා විසින් දෙමළ වැසියන් විශාල පිරිසක් මුලතිව් කලපුවට කොටු කරගෙන සිටීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවයි.


දෙමළ ජාතික සන්ධානයේ නායක සම්පන්ධන් මන්ත්‍රීවරයා සැබෑ දෙමළ නායකයෙකුනම් මේ බව කොටි නායකයාට දැනුම් දී එම දෙමළ ජනතාව පීඩිත තත්ත්වයෙන් නිදහස් කරගැනීමට අවශ්‍ය තරම් ඉඩකඩ තිබුණු නමුත් ඔහු එසේ නොකිරීම මානව හිමිකම් කඩ කිරීමක් වශයෙන් ආනන්ද සංගරී මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

කොටි නායකයා සමග සාකච්ඡා කොට ඔහුට සාම මාවතකට ඒමට බල නොකිරීම දෙමළ ජනතාව කොටි දේශපාලනය වටා ඒකරාශී කිරීම රජය විසින් ආරාධනා කරන ලද සාකච්ඡාවලට සහභාගී නොවී මග හැරීම වැනි කාරණා සම්පන්ධන් මන්ත්‍රීවරයා විසින් හිතා මතාම සිදු කිරීම නිසා ඔහු විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් සිදු කොට ඇතැයි සංගරී හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකා රජයට එරෙහිව මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පරීක්ෂණ පවත්වන්නේ නම් සම්පන්ධන් මන්ත්‍රීවරයාට එරෙහිවද පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් ඉල්ලා සිටින්නේ යැයි සිය නිවේදනයේ සදහන් කොට තිබේ.

Exit mobile version