යුගදනවි විකිණීමට එරෙහිව කාදිනල් හිමිපාණන් හා ඇල්ලේ ගුණවංස හිමියෝ අධිකරණයට යති…

කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු නිව්ෆෝට්‍රස් සමාගමට පවරාදීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රේෂඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මේ පෙත්සම මගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා, නිව් ෆෝට්‍රස් අමෙරිකානු සමාගම ඇතුළු 54 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම මගින් උන්වහන්සේලා ඉල්ලා සිටින්නේ  එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසය.


වැඩිදුරටත් පෙත්සම මගින් කියා සිටින්නේ  කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40 ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවය.

අදාළ තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර අමෙරිකානු සමාගම සතු වීමේ අවදානමක් මතුව තිබෙන බව පෙන්වාදෙන පෙත්සම්කාර හිමිවරුන් මෙම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බව සඳහන්  කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

Exit mobile version