මනෝප්රිය ගුණසේකර
අත්අඩංගුවට ගත් තිදනකුට විශ්‍රාමික නීතිපතිවරයෙකු ගේ සේවය ගැනීම නිසා නඩු පවරන්නේ නැතිව නිදහස් කළ නීතිපතිවරයා විශ්‍රාමික නීතිපතිවරයාගේ ගාස්තුව ගෙවීමට නොහැකි වූ තමාට නඩු පැවරීම හේතුවෙන් අවුරුදු එකොළහක් නඩු කීමට සිදු වූ බව කියමින් අධිකරණයේ හඬාවැටුණු හිටපු ගුවන් සේවා නිලධාරියකු මීගමුව මහේස්ත්‍රාත් දර්ශිකා ප්‍රේමරත්න මහත්මිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළාය.
විශ්‍රාමික නීතිපතිවරයෙකුගේ සේවය ගත් මෙම වරදට සම්බන්ධ සියලු දෙනා නඩු පවරන්නේවත් නැතුව මුදාහල නීතිපතිවරයා ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණැයි කියන පදනම යටතේ ව්‍යාජ ලෙස පුද්ගලයන් විදේශ ගත කළ බවට තමාට පමණක් නඩු පැවරූ බව ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.
තමාට සිදු වූ දේ මේ ලෝකෙ කිසිවකුටත් නොවේවා යයි විත්තිකූඩුවේ සිට ප්‍රාර්ථනා කළ තාරක මිහිනාථ නමැත්තෙකු සියලු චෝදනාවලින් මහේස්ත්‍රාත්වරිය මෙලෙස නිදොස් කොට නිදහස් කළාය.
2011 අගෝස්තු මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ව්‍යාජ වීසාවකින් අන්තෝනිමුත්තු ජෝන් බෙනඩික්ට් නැමැත්තාට නීතිවිරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවෙන් පිට වීම සඳහා ආධාර අනුබල දුන් බවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවා නියෝජිත වරයකු වශයෙන් රාජකාරි කළ නාත්තණ්ඩියේ පදිංචි තාරක මිහි නාථ නමැත්තකුට එරෙහිව චෝදනා නගා ඇත.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරන ලද නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේ විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කළ තාරක මිහිනාත නමැත්තා ශ්‍රී ලංකන් ලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවා නියෝජිතවරයෙකු වශයෙන් කටුනායක ගුවන් තොටුපලේ රාජකාරි කළ තමාට පැවරී තිබුණේ විදේශගත වීමට පැමිණෙන පුද්ගලයන්ගේ ගුවන් ගමන් බලපත්‍රය සහ ගුවන් ටිකට්පත පරීක්ෂා කර ඔවුන්ට බෝඩිං පාස් එක නිකුත් කිරීම බවත් බෝඩිං පාස් එක ගත් පුද්ගලයන් ගුවන් යානයට නැගීමට පෙර ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වන බවත් පැවසීය.
විත්තිකූඩුවේ සිට වැඩිදුරටත් වැඩිදුරටත් ප්‍රකාශය කරමින් තාරක මිහිනාත මහතා මෙසේද පැවසීය.
මෙම නඩුවට අදාළ දින ඉතාලියට යෑමට පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඔහු පසෙකින් වාඩි කරවා ඔහු පිළිබඳ ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නා. පසුව කළ පරීක්ෂාවකදී ව්‍යාජ වීසා මඟින් ඉතාලියට යෑමට පැමිණි ඔහු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු රහස් පොලිස් නිලධාරීන් විසින් අල්ලා ගත්තා. ගුවන් සේවා නිලධාරියෙකුගේ නමත් කියා ඔහු මට කෙටි පණිවිඩයක් එවා ඇද්දැයි රහස් පොලිස් නිලධාරීන් මගෙන් විමසුවත් මා දන්නේ නැතැයි කිව්වා.
නීතිවිරෝධී ආකාරයෙන් පුද්ගලයන්ට ඉතාලි යෑමට උදව් කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවා නිලධාරීන් තිදනකු මුලදී අත්අඩංගුවට ගත්තා. පසුව මා අත්අඩංගුවට ගත්තා. ඔවුන් විශ්‍රාමික නීතිපතිවරයකු ඔවුන්ගේ නඩුවට අල්ලා ගත්තා. ඒ විශ්‍රාමික නීතිපතිවරයා විදුහල්පතිවරයකු වූ මගේ පියාට කතා කර හත්දෙනාම නිදහස් කරලා දෙන්නම් කියා සල්ලි ඉල්ලා තිබුණා. එච්චර මුදල් තිබුණේ නැති නිසාත් මං වරදක් නොකරපු නිසාත් මගේ නඩුවට විශ්‍රාමික නීතිපතිවරයා ඇල්ලුවේ නැහැ. මට කෙටි පණිවිඩය එව්වැයි කියන ගුවන් සේවා නිලධාරියා ඇතුළු ලක්ෂ ගණනින් මුදල් බැංකු ගිණුම්වලට ලැබුණැයි කියන ගුවන්සේවා නිලධාරීන් තිදෙනාව නඩු පවරන්නේවත් නැතිව නීතිපතිවරයා විසින් නිදහස් කර කෙටි පණිවිඩයක් ලැබුණයි කියලා මට විතරක් නඩු පැවරුවා. නොකළ වරදකට අවුරුදු එකොළහක් මේ උසාවියට මං එනවා. මේ ගැන කල්පනා කරලා මගේ පියා අසනීප වෙලා. මේ වන විට පියාට සිහි කල්පනාවත් නැහැ.
නොකළ වරදකට මට විරුද්ධව පැවරුව නඩුව නිසා මට මගේ රස්සාවත් නැති වුණා. කුලී වැඩ කරලයි මං දැන් ජීවත් වෙන්නේ. මට සිදුවූ අසාධාරණය මේ ලෝකේ කිසිවකුටත් සිදු නොවේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා අවුරුදු එකොළහකට පස්සෙවත් යුක්තිය ඉෂ්ට කරලා දෙන්න කියලා මේ ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
නඩු විභාගය අවසානයේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කරුණු ඉදිරිපත් කරමින් ඉදිරිපත් වූ සාක්කි අනුව සුදුසු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි අතර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා කරුණු ඉදිරිපත් කරමින් වසර 11ක කාලයක් තිස්සේ බරපතළ අසාධාරණයකට ලක් වූ තම සේවාදායකයාට සාධාරණයක් කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සියලු චෝදනාවලින් විත්තිකරු නිදොස්කොට නිදහස් කළාය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ දිනෙරු බණ්ඩාර මහතා සමඟ නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියේය.
(ලංකාදීප)