යාපනයේ වැඩිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හිටපු විනිසුරු මහඇමතිගෙන්

දිනසේන රතුගමගේ:

දෙවන වරට මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මේ දක්වා යාපනය දිස්ත්‍රික්කය තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 26ක් සිදුව ඇති බවට යාපනය මැතිවරණ සහකාර කොමසාරිස් කාර්යාලයට හා පොලීසියට පැමිණිලි ලැබී තිබේ.

මේ පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ තර්ජනය කිරීම් හා ප්‍රසිද්ධියේ අපහාස කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙනි.


අපේක්ෂකයින් අතරින් වැඩිම චෝදනා සංඛ්‍යාවක් එල්ල වී ඇත්තේ නව දෙමළ ජාතික සන්ධානයේ නායක විග්නේස්වරන්ට වන අතර ඔහු සිය දේශපාලන පක්ෂය ඡන්ද ලකුණ හා අපේක්ෂක අංකය මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් ප්‍රදර්ශනය කරණ බවට විශාල චෝදනාවක් යාපනය හා කිළිනොච්චි පළාත්වල සෙසු අපේක්ෂකයින්ගෙන් එල්ල වී තිබේ.

විග්නේස්වරන්ගේ රුව ඇතුළත් මුඛවාඩම් විසිදහසක් ඔහු විසින් යාපනය හා කිළිනොච්චිය පළාත්වල ඡන්දදායකයින් අතර බෙදා හැර තිබේ.

යාපනයේදී සිදුව ඇති මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අතරින් දැනට විශාලම සිද්ධිය වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ කාර්යාලයකට එල්ල වී ඇති ප්‍රහාරයයි.

දෙමළ ජාතික සන්ධානයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කරණ ඊස්වරනාදන් සරවනබවන් මහතාට අයත් යාපනයේ පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් විසින් පහර දී විනාශ කොට ඇති බවට ඔහු යාපනයේ මනිපායී පොලීසියට 12 දා පැමිණිලි කොට තිබේ.

එම පක්ෂ කාර්යාලය පිහිටා ඇත්තේ යාපනයේ මනිපායී ප්‍රදේශයේ වන අතර ඊට පහර දෙන ලද්දේ තමන්ගේ දේශපාලන කටයුතු වලට විරුද්ධ පක්ෂයක සාමාජිකයින් බවට තමන් විශ්වාස කරණ බවද ඔහු පොලීසියට පැමිණිලි කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ මනිපායී පොලීසිය මේ සිද්දිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version