මෛත්‍රීගේ ජනාධිපතිවරණ රැස්වීමට වෙඩි තැබූ ආමි සුරංග යළි කොටුවන්නේ අපරාධයකට යන ගමන් ද?

ආමි සුරංග අත් අඩංගුවට ගෙනය.   මුල්ලේරියාව පොලිසිය විසින් ඔහුත් ඔහුගේ ගෝලයෙකුත්   අත් අංගුවට ගන්නේ  ඊයේ (27) රාත්‍රියේ මුල්ලේරියාව වල්පොල දී ය.

මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.සී.එස්.කුමාරට ලැබුණු  තොරතුරක් අනුව කළ පරීක්ෂා කිරීමක දී  ගිනි අවියකුත් සමග ආමි සුරංග  පොලිස් අත්අඩංගුවට පත්වනවිට ඔහු ගෝලයෙක් සමග යතුරුපැදියක යමින් සිටියේය.

බුද්ධික ප්‍රසාද්  හෙවත් ආමි සුරංගට එරෙහි අපරාධ චෝදනා රැසක් එල්ලවන ඉතිහාසයක් තිබේ. ඔහු පොහොට්ටුවේ දේශපාලන සුරතලෙක් ලෙසබව කියැවිනි.   වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනයේ  2014  වසරේ පැවති මෛත්‍රීපාල සිරිසේන ගේ ජනාධිපති අපේක්ෂක දේශපාලන රැස්වීම් වේදිකාවකට වෙඩි  තබන්නේ ආමි සුරංගය.

ඔහු 2018 වසරේදී පිස්තෝලයක් ළඟ තබාගෙන පෑලියගොඩ පොලීසියට හසු විය. පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පොලිස් හැදුණුම්පතක් ව්‍යාජව සකස්කර ළඟතබාගෙන සිටීම සම්බන්ධයෙන් 2020 වසරේදී මිරිහාන පොලීසිය ඔහුව කොටු කරගත්තේය.  ඒ  සම්බන්ධයෙන්ද නඩු විභාගයන් ඇත.


පොලිස් විමර්ශනවලින් හෙළිවන ආකාරයට ආමි සුරංග පොලිසියට කොටු වන්නේ අපරාධයක් සඳහා යන ගමනක අතර තුර බවට පොලිසිය සැක කරන්නේය. ඔහු සිය ගිනි අවිය බහාගෙන යන්නේ පාසල් දරුවන් පොත් ගෙනයන බෑග් එකක් බඳු ගමන් මල්ලකය. එහි තිබී හමුවන ලියකිවිලි අතර පස් ප්‍රවාහනය සඳහා අනුමැතිය ලැබෙන  ලේඛන කීපයක් සමග අංක තහඩු දෙකක් තිබෙන්නේය.

අංක තහඩු ඇත්තේ ඩබල් ටේප් අලවා සූදානම් කරය.

අවශ්‍ය ඕනෑම අවස්ථාවක වාහනයකට අලවා පසුව සලකුණක් නැතිවන සේ ගලවා ඉවත් කරන්න හැකි ලෙස මෙම අංක තහඩු දෙක සකස් කර තිබිණි. මේ  පිළිබඳ කළ ප්‍රශ්න කිරීමේ දී ඔහුට සාධාරණ පිළිතුරක් ලබා දෙන්නට නොහැකි වී තිබුණු බව පොලිසය කීවේය.

ප්‍රශ්න කිරීම් හමුවේ ආමි සුරංග කියා ඇත්තේ ගිනි අවිය සිය සොයුරා වන රංගට අයත් එකක් බවය. රංග යනු පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකි. ඔහු ගොත අසංකගේ හොඳම ගෝලයා ය.  රංග ගිනි අවිය තමන්ට දී ඩුබායි ගිය බව ආමි සුරංග පොලිසියට කියා තිබිණි. ඔහු කීවේ දෙසතියකට පෙර රංග ඩුබායි ගිය බවය.  රංග ඩුබායි පැන්නා ද, නැතිනම් ආමි සුරංග කියන්නේ බොරුවක් ද යන්න සෙවීමට දැන් පරීක්ෂණ ආරම්භ වී ඇත.

බිරිය සහ දරුවන් බණ්ඩාරවෙල පදිංචිකර සුරංග ඉන්නේ හිඹුටානේ ගොඩ උඩපාරේය. ඒ ඔහුගේ මිත්තනිය සමගය. මොහුගේ අපරාධ සැලසුම ගැන ඉගි දැන් පොලිසියට ලැබෙමින් ඇත. ඒ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකය.

ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙත් සැකකරු කඩුවෙල ඉහළ බෝමිරියේ පදිංචිකරුවෙකි. ඔහුට එරෙහිව මෙතෙක් අපරාධ චෝදනා කිසිවක් සොයා ගැනීමට නැතැයි පොලීසිය කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.  විමර්ශකයන් සීරුවෙනි.

Exit mobile version