මේ සතිය තුළ විභාග කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් කර උත්තර පත්‍ර ඇගයීම් මග හරින සියලු දෙනාට නීතිමය පියවර ගන්නවා… ජනපති කියයි!

පාසල් දරුවන් කිසිම කල්ලියක ප්‍රාණ ඇපකරුවන් වෙන්න දෙන්නේ නෑ...

Ranil

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල  ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බවත් මේ සතිය තුළ   විභාග සම්බන්ධ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර   පිලිතුරු පත්‍ර ඇගයීම අඩාල කරන ඕනෑම කෙනෙකුට එරෙහිව   නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා     මේ බව සඳහන් කළේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුළත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.

විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇඟයීම සඳහා සම්බන්ධ වු කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් කටයුතු සිදු කරන ලෙස ද උපදෙස් දුන්නේය.


එම කටයුතු සඳහා සහභාගී නොවුනහොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ පිළිබඳ නීතිපතිවරයා සමග ද සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව කර ඇති ප්‍රකාශය පිළිබඳව ද අවධානය යොමු කර ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා අධ්‍යාපන බලාධාරින්ට දැනුම් දුන්නේය.

Exit mobile version