මේ අවුරුද්ද අවසන් වන තෙක් ඉන්ධන ගෙන්වන හැටි ගැන ජනපති හෙළි කරයි !

වෙනත් ආනයන සහ ඉන්ධන සැපයීම සීමා කරන්න වෙනවා - අපහසුතා ඉවසන්න...

මෙම වසර අවසන් වන තුරු රටට අවශ්‍ය ඉන්ධන ගෙන්වා ගැනීමට අවශ්‍ය විදේශ විනිමය වෙනත් රටවලින් ණය ලෙස ලැබෙන තුරු බලා නොසිටින බවත් රටට එන අපනයන ආදායම සහ විදේශ ප්‍රේෂණ ඇතුළු ඩොලර් ආදායමවලට අනුකූලව ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   පවසයි.

අද නව පාර්ලිමේන්තු සැසිය විවෘත කරමින් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ කතාවේදී මේ බව අනාවරණය කළ ජනාධිතිවරයා එතෙක් ඉන්ධනවලට අවශ්‍ය ඩොලර් ගෙවීම් තුළනය කර ගැනීම සඳහා තෝරා ගත්  ආනයන  සීමා කිරීමට සිදුවන බවද කියයි.

එසේම ඉන්ධන සැපයීම ද යම් මට්ටමකට සීමා කිරීමට සිදුවන බව පැවසූ ජනාධිපති වික්‍රමසිංහ මේ වසර අවසන් වන තුරු මේ අපහසුකම් රට වෙනුවෙන් දරා ගනිමු යයිද යෝජනා කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිති රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීවේය.


“ආර්ථික අර්බුදය නිසා අපි හැමෝම විවිධාකාර දුෂ්කරතා අත්විඳිනවා. පීඩාවන්ට ලක් වෙනවා. දුක් විදිනවා, කරදර විදිනවා. මේ දුක් කරදර සහ පීඩාවලින් මිදීමේ මාර්ගය කරා මේ රට ගෙනයාමට ඔබ සියළු දෙනාගේම සහාය ඇතිව මම කටයුතු කරනවා.

මේ දුෂ්කරතාවයන්ගෙන් මිදීමට අප දීර්ඝ කාලීන විසඳුම් කරා යායුතුයි. නැවත කිසිදිනෙක මෙවැනි ආර්ථික අර්බුදයක් අපේ රටේ ඇති නොවන පරිදි ශක්තිමත් පදනමක් දැමිය යුතුය. ආර්ථිකය නවීකරණය කළයුතුයි. ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර, තරඟකාරී අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කළයුතුයි. ඒ සදහා අවශ්‍ය වාර්තා සැළසුම්, නීති – රීති, අණ – පණත් සහ වැඩසටහන් දැන් අප සකස් කර ගෙන යනවා.

අද මම ඔබ ඉදිරියේ පැහැදිලි කරන්නේ අපේ ඉදිරි ගමන සඳහා පදනම් වන සැළසුම් රාමුවයි. මේ රාමුව තුළ අප ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරියේ පාර්ලිමේන්තුවට ගෙන එන අන්තර්කාලීන අයවැය සහ 2023 අයවැය ඔස්සේ ඉදිරිපත් කරනවා.

යළි නැගී සිටීමේ මුලික පියවරක් වශයෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා. අගෝස්තු මාසයේ සිට අප ඒ සාකච්ඡා යලිත් ඉදිරියට ගෙන යනවා. මුලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි.

ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතනය සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැළසුම් දැන් අවසන් අදියරට පැමිණ තියෙනවා. මේ සැළැස්ම නොබෝ දිනකින් අප ජාත්‍යන්තර අරමුදලට ඉදිරිපත් කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්පසුව අපට ණය ආධාර ලබා දී ඇති රටවල් සමඟ සාකච්ඡා කරනවා. අනතුරුව පුද්ගලික ණයකරුවන් සමඟත් සාකච්ඡා අරඹනවා. ඔවුන් සමග එකඟතාවන්ට එළඹෙනවා.“ යයිද පැවසීය.

Exit mobile version