මේ අවුරුද්දේ බංකොලොත්වන රටවල් 03න් එකක් ලංකාව…

ජාත්‍යාන්තර මූල්‍ය ආයතන උපුටා දක්වමින් අනුර කුමාර දිසානායක කියයි....

මේ වසරේ රටවල් තුනක් බංකළොත්වන  බව ජාත්‍යන්තර මූල්‍ය ආයතන අනතුරු හඟවා ඇති බවත් ඉන් එක් රටක් ලංකාව බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු මේ ප්‍රකාශය කළේ ඊයේ (10) කොළඹ නව නගර ශාලාවේ පැවති සංවාදශීලී සම්මන්ත්‍රණයකදී ය.

මේ සිදුවන ආර්ථික බංකොළොත්භාවයත් සමග චීනය, ඉන්දියාව හා ඇමරිකාව වැනි රටවල්  වෙත රටේ ස්වාධිපත්‍යය විවෘත කර දුන් වසර 73ක පාලනය අවසානයේ දී අප ගෙන ඇවිත් ඇති ස්ථානයේ බිහිසුණු ස්වරූපය ගැන ඔහු වැඩිදුරටත් කරුණු දැක්වූයේය.


එහිදී කතා කළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“ආර්ථික අර්බුදය, ආර්ථික ක්ෂේත්‍රයේ විතරක් රැඳෙන්නේ නැහැ. ආර්ථික අර්බුදයෙන් සමාජ අර්බුදයන් නිර්මාණය කරනවා. සෑම ක්ෂේත්‍රයකම පැවැත්මට තර්ජනයක් එල්ල කරනවා. අනාගතය පිළිබඳව අවිනිශ්චිත තාවයක් නිර්මාණය කෙරෙනවා.

මේ නිසා ආර්ථිකයේ ඇතිවී තිබෙන අර්බුදය ගැන අපි සැලකිය යුතු අවධානයක් යොමුකළ යුතු වෙනවා. “

“ ආර්ථිකයේ මතුවී තිබෙන ප්‍රධානම ගැටලුව ණය අර්බුදයයි. රටක් හැටියට අපේ ණය ධාරිතාව ඔරොත්තු නොදෙන මට්ටමක තිබෙනවා. 2000 වසරේදී මුළු ණය ප්‍රමාණය බිලියන 1218යි. 2005 වෙනකොට බිලියන 2219යි. අවුරුදු 05කදී බිලියන 1008කින් ණය වැඩි වුණා. 2010 වෙන කොට බිලියන 4594 දක්වා වැඩිවුණා. 2015 වෙනකොට 8599ක්. 2019වෙන කොට බිලියන 6000කින් වැඩිවෙනවා. 2020 සහ 2021 අපේක්ෂා කරන ණය ගැනීම බිලියන 5872ක්. ඒකෙන් බිලියන 5800ක් විතර නැවත ණය ගෙවීමට. 2021අවසන් වන විට අපේ ණය පංගුව බිලියන 17300දක්වා ඉහළ යනවා.

2012 ඉඳන් අපේ ණය ගිණුම්ගත කිරීමට අලුත් ක්‍රමයක් හඳුන්වා දුන්නා. ආණ්ඩුවේ ණය වෙනමත් රාජ්‍ය ආයතන සතු ණය වෙනමත් ගිණුම්ගත කළා. උදාහරණයක් හැටියට හම්බන්තොට වරාය හදන්න ණය ගත්තේ වරාය අධිකාරිය. ඒ ණය රජයේ හැටියට නෙවෙයි වරාය අධිකාරියේ ණය හැටියට ගිණුම්ගත කළා. 2021 අවසන් වන විට රුපියල් බිලියන 17300ක ණය පංගුවට රාජ්‍ය ආයතනවල ණය ඇතුළත් වෙන්නේ නැහැ. මාර්ග සංවර්ධන අධිකාරියේ, එයාර් ලංකා එකේ, පෙට්ට්‍රොලියම් එකේ, විදුලි බලමණ්ඩලය ආදී රාජ්‍ය ආයතනවල ණය බිලියන 1300යි. 2021 ඉවර වෙනකොට රටේ මුළු ණය බිලියන 18600යි. ඒක පුද්ගල ණය පංගුව ලක්ෂ 09 ඉක්මවනවා.

1981දී ඒක පුද්ගල ණය පංගුව රු:4357/-යි. 2005දී 113,000යි. 2015 වෙනකොට 418,000යි. 2021දී 900,000 ඉක්ම වනවා. අපේ රටේ ආර්ථිකය, රජයේ ආදායම වගේ සාධක සලකා බලනකොට අපිට දරාගන්න බැරි ණය පංගුවක හිරවෙලා ඉන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් ඔය ණය ගෙවන්නේ අපේ පොකට් එකෙන් නෙවෙයි කියලා. නමුත් භාණ්ඩවලට බදු ගහලා, දඩ ගහලා, ලියාපදිංචි ගාස්තු විදිහට මහා භාණ්ඩාගාරයට අයකර ගන්නේ අපේ සල්ලි. ණය ගෙවන්නේ භාණ්ඩාගාරයට ලැබෙන බදු මුදලින්.

2020දී අපේක්ෂිත බදු ආදායම බිලියන 1,550ක්. නමුත් උපරිම වශයෙන් ලැබෙන්නේ රු.බිලිය 1,350යි. ණය පොලිය සහ ණය වාරික වශයෙන් 2020දී රුපියල් බිලියන 1,854ක් ගෙවන්න සිදුවුණා. ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 500ක් විතර අමතරව ණය ගන්න සිද්ධ වුණා, ණය වාරික සහ පොලිය ගෙවන්න විතරක්. අනෙක් සියලු වියදම් සඳහා ආණ්ඩුව ණය ගන්න ඕනෑ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාමි වැටුප් ගෙවන්න කෝටි 90,000ක් ඕනෑ. සෞඛ්‍ය සඳහා කෝටි 15,900ක්, ප්‍රවාහනය සඳහා කෝටි 4,100ක්, අධ්‍යාපනය සඳහා කෝටි 12,600ක්, ආදී සියළු වියදම්වලට ණය ගන්න වෙලා. අවුරුදු 73ක් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපිට දරාගන්න බැරිතරම් ණයක් ගොඩගැහිලා. 2021 අපේක්ෂිත ආදායම බිලියන 1919යි. ණය පොලී වාරිකය ගෙවන්න බිලියන 2117ක් යනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


භාණ්ඩාගාරයට ලැබෙන මුළු ධනයම ණය පොලී සහ වාරිකය ගෙවන්න ප්‍රමාණවත් නැහැ.

Exit mobile version