මෙල්බර්න් නුවර පිහිටි නව පරපුරේ තාක්ෂණ සමාගමක් වන iGreenData සමාගම ශ්‍රී ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකු බඳවා ගනී

iGreenData

රැකියා බලපත්‍ර මත ඕස්ට්‍රේලියාවේ සේවය කිරීම සඳහා iGreenData නමැති නව පරපුරේ තාක්‍ෂණ සමාගම විසින් මෑතකදී බඳවා ගනු ලැබූ ඉහළ දක්ෂතා සහිත ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකු, මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වෙත පසුගිය දින පැමිණිය හ. මෙල්බර්න් නුවර සිය මූලස්ථානය ස්ථාපිත කළ iGreenData සමාගම, 2018 වර්ෂයේ දී සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ ය. මෙම සමාගම බැංකු සහ මූල්‍ය සේවා යන අංශ කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ක්ලවුඩ්, දත්ත සහ පළමු පෙළේ ඩිජිටල් විසඳුම් පිළිබඳව අවධානය යොමු කරන සමාගමකි.

සිය මූලික වෙළඳපොළ, නිපුණත්වයෙන් යුත් සම්පත් සහිත වෙළඳපොළක් බවට පත් කිරීම සඳහා විවිධාංගීකරණය කරන සමාගමක් වන iGreenData සමාගම විසින් කෙටි කාලයක් තුළ බඳවා ගනු ලැබූ මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම, ශ්‍රී ලංකාවෙන් බඳවා ගත් පළමු කණ්ඩායම වේ. මෙම සමාගමේ සම-නිර්මාතෘ සහ සම-කළමනාකාර අධ්‍යක්ෂවරයා වන, මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෆ්‍රෑන්ක් රාජකුලේන්ද්‍රන් මහතා මෙම හමුව අතරතුර සිදු කළ ප්‍රකාශයෙන් මේ බව අවධාරණය කෙරිණි. දක්ෂතා සහිත ශ්‍රී ලාංකිකයන් දිරිමත් කිරීම සඳහා මෙන්ම, මෙම බඳවා ගැනීමේ කටයුතු සිදු කිරීම සඳහා වැදගත් අවබෝධයක් ලබා දීම සඳහා කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා දැරූ පරිශ්‍රමය, රාජකුලේන්ද්‍රන් මහතාගේ පැසසුමට ලක් විය.

දෙසීයකට අධික සංඛ්‍යාවකින් සමන්විත කාර්ය මණ්ඩලයකින් සුසැදි iGreenData සමාගම, 2020 වර්ෂයේ සහ 2021 වර්ෂයේ පැවති Deloitte Technology Fast 50 Australia සම්මාන උළෙලේ දී සහ 2021 වර්ෂයේ පැවති CRN Fast 50 Australia සම්මාන උළෙලේ දී ශ්‍රේණි හිමි කරගත් බව, එහි සම- නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මැක්ස් සුන්දරම් මහතා ප්‍රකාශ කළේය. සිය පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහා iGreenData සමාගම ඉන්දියාව තුළ සිය මෙහෙයුම් කටයුතු පුළුල් කර ඇති අතර, නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාව තුළද සිය මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පවත්නා අවස්ථා ගවේෂණය කිරීමට අපේක්ෂා කරයි.


මෙම ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන් පිරිස කොන්සල් ජනරාල් කාර්යාලය වෙත සාදරයෙන් පිළිගත් කොන්සල් ජනරාල්වරයා, ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් එක් වර බඳවා ගැනීම සඳහා අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් iGreenData සමාගම වෙත සිය ස්තුතිය පුද කළේ ය. ශ්‍රී ලංකාව පුහුණු අංශය හා සබැඳි විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බැවින්, මෙම පියවර කාලෝචිත මුලපිරීමක් වන බවද එතුමා සඳහන් කළේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොන්සල් ඩයනා පෙරේරා මහත්මිය, iGreenData හි සම-නිර්මාතෘ සහ පාරිභෝගික සාර්ථකත්වය පිළිබඳ ප්‍රධානී ප්‍රවීන් පුරුෂෝතමන් මහතා සහ කුසලතා උපාර්ජන ප්‍රධානී ශිව් වේලු මහතා යනාදීහු ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

Exit mobile version