වර්ෂ 2023 ජූනි මස 01 දින වන විට ආගමික පූජකවරුන් 56 දෙනෙක් මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මුදල් වංචා, පුරාවස්තු කොල්ලකෑම ඇතුළු අපරාධ සඳහා බන්ධනාගාරගතව සිටින බවත්, ඉන් 48 දෙනෙක්ම බෞද්ධ භික්ෂූන් බවත් ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ ( 08) පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ සිරගත වූ පූජකවරුන් අතර හින්දු පූජකවරුන් 03ක්, කතෝලික පූජකවරුන් 01ක් සහ ඉස්ලාම් පූජකවරුන් 04ක් සිටින බවය.
බන්ධනාගාරගතව සිටින මෙම බෞද්ධ භික්ෂූන් 48 අතරින් අපරාධ චෝදනා ඔප්පු වී සිරකරුවන් ලෙස 29 දෙනෙක් සිටින බවත්, සැකකරුවන් ලෙස 19 දෙනෙක් බන්ධනාගාර ගතවී සිටින බවත් ඇමතිවරයා කීවේය.
හින්දු පූජකවරුන් තිදෙනාම බන්ධනාගාරගතව සිටින්නේ සැකකරුවන් ලෙස බවත්, ඉස්ලාමීය පූජකවරුන් හතර දෙනාගෙන් තිදෙනෙක් වරදකරුවන් වී සිරදඬුවම් විඳන අතර 01ක් සැකකරුවන් ලෙස බන්ධනාගාරගත වී ඇති බවත් හෙළි වුනේය. කතෝලික පූජකවරයා බන්ධනාගාරගතවී සිටින්නේ සැකකරුවෙක් ලෙසය.
මෙම පූජකවරුන් අතරින් බෞද්ධ භික්ෂූන් 19ක් ළමා අපචාර සඳහා වරදකරුවන් වී සිර දඬුවම් විඳිති. 04 දෙනෙක් සැකකරුවන් ලෙස රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කරති. එක් හින්දු පූජකයෙක් ළමා අපචාර චෝදනාවක සැකකරුවෙක් සේ රිමාන්ඩ් භාරයේ පසුවෙයි.
ස්ත්‍රී දූෂණයට වරදකරුවන් වී සිරදඬවම් විඳින බෞද්ධ භිකෂූන් 03කි. එම වරදට බන්ධනාගාරගත භික්ෂු සැකකරුවන් 01යි. වෙනත් ආගමික පූජකවරු ස්ත්‍රී දූෂණය සඳහා දණ්ඩනයට හෝ සැකයට ලක්ව පසුගිය ජූනි 31වනවිට බන්ධනාගාරගත වී සිට නැත.
මිනී මැරම් චෝදනා යටතේ බෞද්ධ භික්ෂූන් 02ක් වරදකරුවන් වී දණ්ඩනයට ලක්ව සිර දඬුවම් විඳිති. එක් බෞද්ධ භික්ෂුවක් මිනී මැරුමක සැකකරුවෙක් ලෙස බන්ධනාගාරගතව ඇත. මිනී මැරීම ඔප්පුවී දණ්ඩනයට ලක්වුන හින්දු පූජකයෙක් වේ. බන්ධනාගාරගත වී සිටින එකම කතෝලික පූජකවරයා මිනී මැරුම් සැකකරුවෙකි.
මුදල් වංචා ඔප්පු වී බෞද්ධ භික්ෂූන් 02ක් සිරකරුවන් ලෙස දණ්ඩනය විඳති. මුදල් වංචා චෝදනා ඔප්පු වී සිරගත වී ඇති හින්දු පූජකවරුන් 01කි. නිදන් හෑරීමේ වරද ඔප්පු වීම නිසා බෞද්ධ භික්ෂූන් 03ක් සිරදඬුවම් විඳති.
බරපතල ලිංගික අපයෝජන වරදට ලක් වී සිටින බෞද්ධ භික්ෂූන් 02කි. බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ වරදට සිර දඬුවම් විඳන බෞද්ධ භික්ෂුවක් ද බන්ධනාගාරයේ වේ.
පොදුවේ ළමා අපචාර බාල වයස්කාර දැරියන් දූෂණය, බාලවයස්කාර පිරිමි දරුවෙක් අපයෝජනයට වරදකරුවන් වූ බෞද්ධ භික්ෂූන් 20ක් බන්ධනාගාරයේය. මෙම වරදට බෞද්ධ භික්ෂූන් 05ක් ද හින්දු පූජකයෙක් ද සැක පිට බන්ධනාගාර ගත වී ඇත.
ස්ත්‍රී දූෂණ, බරපතල ලිංගික අපයෝජනය, අතවරයට තැත් කිරීම, ස්ත්‍රීයකට සාපරාධී බලපෑම් කිරීමේ චෝදනා මත වරදකරුවන් වූ බෞද්ධ භික්ෂූන් 05කි. සැකකරුවන් 03කි.
මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ පසු ප්රශ්නය ඇසූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මේ එළි දකින්නේ ආගමික ආයතන සම්බන්ධව සමාජයේ ඇති ගෞරවය සහ විශ්වාසය පලුදුවන තැන බවය.