මින්පසු රසායනික පොහොර ගැන කතා කළොත් කෘෂිකර්ම ලේකම්ව එළවා දමන්න… ජනපතිගෙන් නියෝගයක්!

යූරියා නරක පොහොරක් නොවනවා සේම  ඇඟේ ගාන්නට නිශ්පාදනය කරන ක්‍රීම් වර්ගවල ඇත්තේ යූරියා බවත්  නියමිත ප්‍රමිතියක් සහිත රසායනික ශාඛ පෝෂක ආනයනය කිරීමට කටයුතු කරන බවත් කී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් උදිත් කේ. ජයසිංහ  රජයේ ප්‍රතිපත්තිය අනුව වැඩ නොකරන්නේ නම් පන්නා දමන බව ජනාධිපතිවරයා ඊයේ (22) ප්‍රකාශ කළේය.

වයඹ විශ්විද්‍යාලයේ උපකුලපතිවරයාව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පසුගිය අවුරුදු දෙක තුළ  කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්වුණු 03වන ලේකම්වරයා ය. මින් පෙර සිටි ලේකම්වරුන් දෙපළම ධුරයේ කටයුතු කළ නොහැකිව ඉල්ලා අස් විය.

කෘෂිකර්ම ලේකම්වරයා  පන්නා දමන බව කී ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේ  මෙතෙක් පැවති  ව්‍යුහය හදා ඇත්තේ  රසායනික පොහොර   සමාගම් හා සම්බන්ධ එම නිශ්පාදන  ප්‍රචලිත කරන අය විසින් බවය.   ඔවුන් ඉවත් කර ජාතික ප්‍රතිපත්තියවන   කාබනික පොහොර ප්‍රචලිත කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රධානීන්ට දැන්වීය.


මේ තත්වය තුළ කෘෂිකර්ම ලේකම්වරයා රසායනික පොහොර අවශ්‍ය බව කිවහොත් එවැන්නෙක් තමන්ට අවශ්‍ය නැති බවත්, ජාතික ප්‍රතිපත්තිය එතැනින් නිමාවන බවත්, මින් මතු එසේ කිවහොත් ඔහුව එළවා දමන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කළේය.

ලේකම්වරයා හෝ පොහොර අධ්‍යක්ෂවරයා හෝ ඕනෑම කෙනෙක් මෙම ජාතික ප්‍රතිපත්තියට විරුද්ධව නම්  කරන්නට පුලුවන් අයට එම තනතුරු දී ඉවත් වී යා යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නොයෙක් විද්‍යාඥයන් පැමිණ රසායනික පොහොර පිළිබඳ කතා කරන බව කී ජනපතිවරයා ඔවුන්ගේ කාර්යය කුමක් දැයි විමසා බැලුවහොත් ඔවුන් රසායනික පොහොර සමාගම්වල හොඳම අධ්‍යක්ෂවරුන් බව කීවේය. ඔවුන් සමග ජාතික හරිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැකි බව හෙතෙම අවධාරණය කෙළේය.

එහිදී ජනාධිපතිවරයා අදහස් දැක්වූයේ මෙසේය.

ප්‍රතිපත්තියක් වශයෙන් රජයෙන් අපි කරන්නේ, මේ කාබනික කෘෂිකර්මාන්තය, හරිත කෘෂිකර්මාන්තය පමණයි. ඒක මතක තියාගන්න ඕනේ ලේකම්වරුයි අනිත් හැමකෙනෙක් ම. රසායනික පොහොර ඒක පුද්ගලික අංශයට භාරදෙන්න. ඕන එක්කෙනෙකුට ඕන නම් ගෙන්නලා ඒක එකතොට ගොවියට අපිට ලබාදෙන්න පුළුවන්. එතකොට Available තියෙනවානේ. එතකොට කාටවත් කියන්න බැහැ මේක නැහැයි කියලා. හැබැයි සහනාධාරය දෙද්දි ප්‍රමුඛත්වය දෙන්නේ මේ කාබනික පොහොරවලට විතරයි.

එතකොට ගොවියා ඉබේම ඒකට යනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොවියව දැනුවත් වෙලා නැහැ. ගොවියාට විශ්වාසයක් නැහැ මොකද්ද පොහොර යොදන්නේ කියලා. අපි පොහොර බෙදන එක තාමත් සිද්ධවෙලා නැහැ. මේවා ගැන ප්‍රශ්න ඇතිවුණාම තමයි ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්නේ. නැත්නම් මේ කන්නය සම්පූර්ණයෙන්ම ආසාර්ථක වෙනවානේ. එහෙම වෙන්න දෙන්න බැහැනේ. හැබැයි අපි සමස්තයක් වශයෙන් මේ පොහොර ගෙන්වීම හා කිසිම සම්බන්ධයක් රජයෙන් ගන්න නරකයි.

පහළ මට්ටමේ ඉඳලා ඉහළ මට්ටමට යනකම් මේවට කිසිම උනන්දුවක් නැහැ. ඒ හින්දා තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. මේ ව්‍යුහය තාම හැදිලා තියෙන්නේ ඒකේ ඉන්නේ මේ රසායනික පොහොර හා සම්බන්ධ අපේ රසායනික සමාගම් හා සම්බන්ධ ඒකත් ප්‍රචලිත කරන අය. ඒ අය අහක් කරලා කාබනික පොහොර ප්‍රචලිත කරන්න. ඒක තමයි ජාතික ප්‍රතිපත්තිය. ලේකම්තුමාම ගිහිල්ලා කිව්වොත් රසායනික පොහොර ඕන කියලා එතකොට ඉතින් මට වැඩක් නැහැනේ. එතකොට ජාතික ප්‍රතිපත්තිය එතනින් ඉවරයිනේ. මීට පස්සේ එහෙම කිව්වොත් එහෙම එයාව එළවලා දාන්න. ලේකම්වරයා හරි පොහොර අධ්‍යක්ෂවරයා හරි ඒ හැම කෙනෙක්ම ප්‍රතිපත්තියට විරුද්ධව කතා කරොත් එයා ඒකට විරුද්ධවයි. විරුද්ධ නම් එතනින් අයින් වෙලා යන්න ඕන පුළුවන් අයට දීලා. මම දන්නවා විද්‍යාඥයෝ අරගොල්ලො මේගොල්ලෝ ඇවිල්ලා කිව්වට ඒ ගොල්ලන්ගේ කාර්යය මොකද්ද කියලා බැලුවොත් පොහොර සමාගමෙන් දීලා නැහැ. සමහර අය අධ්‍යක්ෂවරු. සමහර සමාගම්වල හොඳම අධ්‍යක්ෂවරු. මේ කන්නයේ දැනට තියෙන ඒවට Immediately දෙන්න ඕන ගොවියන්ට ඒ උත්තරය දෙන්න ඕන.”

ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පහත දැක්වේ.

මේ කතාවත් කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යූරියා තමයි අපි ඇඟේ ගාන ක්‍රීම්වලත් තියෙන්නෙ… නරක නම් ඇඟේ ගාවියෑ…. කෘෂිකර්ම ලේකම් අද කිව්ව අමුතු කතාව

 

Exit mobile version